“මම නිදහසේ බස් එකේ යනවා එනවා, මට මරණ තර්ජන ආවා නමුත් මාව මරන්නෙ නැති බව මම දන්නවා. වර්තමාන රජය මට ආරාධනාවක් කළා වගකීමක් භාරගන්න කියලා, නමුත් මම ඒකට බැහැ කිව්වා. මම කාගෙවත් ප්රතිපත්තියට වැඩ කර කෙනෙක් නෙමේ, වසර තිහක රාජ්ය සේවය තුළ මම 13 වැනිදා විශ්රාම ගියාට පස්සේ පෞද්ගලික අංශයක රැකියාවක් කරනවා. මට ගොඩක් පෞද්ගලික අංශ ගණනාවක් ආරාධනා කළා, ඒ අයටත් මම කිව්වේ විකිණෙන තැනක තියන්න එපා කියලා, මට පොල් වත්තක් හරි බලාගන්න දුන්නොත්, ඒ රස්සාව කරලා ජීවත් වනවා” යැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා සඳහන් කළේය.
ලබන 13 වැනිදායින් පසු තමාගේ ජීවිතය සාමාන්ය ජීවිතයක් බවට පත්වන බවත්, කොහොමත් තමන් සාමාන්ය ජීවිතයක් ගත කළ බවත්, 13න් පස්සෙත් තමාට කියන්න තියෙන්නේ ආයතනයට අදාළ කාරණා පමණක් බවත්, තමාගේ මතවාදය කොමිෂන් සභාව තුළ සහ ඕනෑම තැනකදි ප්රකාශ කර තිබෙන බවත් සමන් ශ්රී රත්නායක මහතා කීය.
තමාට සිදුවුණු ඇතැම් කාරණා එළියේ ප්රකාශ නොකළ බවත්, ඒවා සමහරුන් දන්නා බවත් නොදන්නා කාරණා කාලයත්, වයසත් එක්ක එළියට එන බවත් ඔහු පැවැසීය.
පසුගිය කාලයේ ඉතා සාධාරණව මැතිවරණ තුනක් පැවැත්වීමට තම මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව ලැබුණු බවත්, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට අයිතියක් නොමැති බවත්, තමන් පෞද්ගලිකව පළාත් සභා ක්රමයට අකැමැති බවත්, ඡන්දයකින් දිස්ත්රික්කයට මන්ත්රීවරයකු පත්කරගෙන ජනතාවට අවශ්ය සංවර්ධන කටයුතු කිරීමෙන් රටට විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව පවතින බව, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා සඳහන් කළේය.
වර්තමානයේ අප රටේ සිටින්නේ ඡන්දදායකයෝ නොව පාරිභෝගිකයෝ බවත්, සිමෙන්ති, තහඩු, මෙන්ම බඩු පාර්සල් ලබා දෙනවානම් ඕනෑම අයෙකුට ඡන්දයක් ලබාදෙන පාරිභෝගිකයෝ පිරිසක් අප රටේ සිටින බවද ඔහු අවධාරණය කළේය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා මේ මස 13 වැනිදා විශ්රාම යෑම වෙනුවෙන් පැෆරල් සංවිධානයේ පොලොන්නරුව, මඩකලපුව, ත්රිකුණාමලය, අනුරාධපුරය, මාතලේ යන දිස්ත්රික්කවල සිවිල් ක්රියාකාරීන් පෙරේදා (04) සවස පොලොන්නරුව රුවින්ස් චායා හෝටලේදී එතුමාගේ සේවය අගය කිරීම සඳහා පැවති උත්සවයකදී ඔහු මේ බව පැවැසීය.
සමන් ශ්රී රත්නායක මහතා එහිදී මෙසේ ද කීය.
‘දේශපාලනඥයන් සමඟ අඩුම ගනුදෙනුව කරන්නේ අපි. මම කිසිම දවසක නුවරඑළියේ රාජකාරී කටයුතු කරද්දී දේශපාලනඥයෙක් මගේ කාමරයකට ගෙන්වාගෙන නැහැ. එනවනම් කලින් වෙලාවක් වෙන්කරගෙන එන්න ඕනේ. මම එහෙමයි රාජකාරී කටයුතු කළේ. නැත්නම් අපේ වෘත්තීය කටයුතු කරගෙන යන්න අමාරුයි. ඒක මට වාසියක් වුණා කොමසාරිස් ජනරාල් ධුරයෙන් පස්සේ. මොකද කිසිම දේශපාලනඥයෙක් මගේ තීරණවලට අත දාන්න කටයුතු කළේ නැහැ. ඒ ආදර්ශය මගේ කොමිෂන් සභාවේ 14 දෙනාටත් ලැබුණා. මම පුද්ගලයා මත උත්තර වෙනස් කරන පුද්ගලයෙක් නෙවෙයි. මම මේකට ආවෙ විශාල කාර්ය භාරයක් කරලා යන්න. මම ඒ දේ කළා, මම මගේ ප්රතිපත්ති වලට වැඩ කළා මිසක්, මම කාටවත් ප්රතිපත්තිවලට වැඩ කළේ නැහැ. මම ඉදිරි කාලයේදී ක්රීඩා ක්ෂේත්රය සම්බන්ධ කටයුතුවල නිරත වෙනවා, මම මෙතෙන්ට එන්නත් ඉස්සර ජාතික ඔලිම්පික් කමිටුවත් එක්කත් කටයුතු කළා. ඉතින් සමහරවිට මම ඉදිරියේදී ඒ දේවල් එක්ක එකතුවෙයි. ඒ වගේම හිතනවා ඉදිරි කාලය තුළ අධ්යාපන කටයුතුවල නිරත වෙන්නම් කියලා, ඉතින් ඒ අතරතුර අනිවාර්යයෙන්ම රස්සාවක් කරන්නත් වෙනවා. ඒ කරන්නේ පෞද්ගලික ආයතනයක රස්සාවක්.
මැතිවරණ සම්බන්ධව පවතින නීති රීති වෙනස් කරන්න ඉදිරි වසර තුන හොඳම කාලයයි. පළාත් සභා ක්රමයෙන් පුරවැසියන්ට ලැබෙන දෙයක් නැහැ. පළාත් සභාව වෙනුවට විකල්පයක් ලෙස දිස්ත්රික් පාලන ක්රමය තමයි හොඳ. ඒකෙන් දිස්ත්රික්කයට එක් දේශපාලනඥයෙක් ඡන්දයෙන් පත් කරගන්න ඕනේ.
අද කිසිම පක්ෂයකින් ගම්මානවල ශාඛා සමිති සමිති නෑ. දිස්ත්රික් කාර්යාල නෑ. ප්රාදේශීය සභා මන්ත්රීවරුන්ගෙන් හෝ පළාත් පාලන මන්ත්රීන්ගේ පක්ෂයේ ප්රතිපත්ති මොනවද කියලා ඇහුවොත් ඒ දන්නෙත් නෑ. අපේ උත්සාහය හෑම කෙනෙකුටම ඡන්ද අයිතිය ලබාදෙන්න, සිරකරුවන්ටත් ඡන්ද අයිතිය ලැබිය යුතුයි. ඒ සඳහා බන්ධනාගාරයේ පවතින නීතිරීති වෙනස් කරන්න ඕනේ.
බන්ධනාගාරයට අපිට තියා කාටවත් යන්න බැහැ. විදේශගත පුරවැසියන්ට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව ලබාදිය යුතුයි. අපි කැමතියි කොමිසමක් හැටියට පළාත් සභා ඡන්දය තියන්න. නමුත් පළාත් සභා ඡන්දයක් තියන්න කියලා මැතිවරණ කොමිෂන් සභාවට නීතියක් නැහැ. පළාත් සභා ඡන්දය තියන්න ඕනේ කියලා සමහරුන් කෑගහනවා.”
මෙම අවස්ථාවට පැෆරල් සංවිධානයේ ජාතික සංවිධායක සුජීව ගායනාත් මහතා ඇතුළු දිස්ත්රික්ක කිහිපයක පැෆරල් සංවිධානයේ සාමාජිකයන් පිරිසක් සහභාගි වී සිටියහ.



