විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇති බවට දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇති බවට වාර්තා වෙයි.
නෙත් එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාවේ සභාපති නිහාල් සෙනෙවිරත්න ඈපාගේ දියණිය වන අකිලාගේ විවාහ මංගල්‍යය පසුගිය සතියේ පැවැත් වුණේ ගාල්ලේ තරු පහේ හෝටලයකය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විදේශ ඇමැති විජිත හේරත්, හිටපු ඇමැතිවරුන් වන තලතා අතුකෝරාල හා වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් සිටියේ එකම මේසයකය.
මෙහිදී හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වන රොෂාන් රණසිංහ, ක්‍රීඩා ඇමැති ධුරයෙන් ඉවත් කිරීම ගැන කතා බහක් ඇති විය.
එකල ජනාධිපතිවරයා වූයේ රනිල් වික්‍රමසිංහය ‘‘මම ඒකට උත්තර දෙන්නම්. මම ඇඟිලි ගහන්න ගියේ නැහැ. මගෙත් එක්ක ක්‍රීඩාවට අදාළ දේවල් කතා කළේ නැහැ. නෝනා හැම දෙයකටම ඇඟිලි ගැහුවා‘’’ හිටපු ජනාධිපතිවරයාගේ පිළිතුර විය.
මෙම කතාබහ කරන විට විදේශ ඇමැති විජිත හේරත් පැමිණි අතර අසුන් ගත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ළඟය.
එම මේසයේ සිටි මාධ්‍යවේදියෙක් විදේශ ඇමැතිවරයාගෙන් ඇසුවේ ‘‘ඔයා ලබන අවුරුද්දෙ අගමැති වෙනවා කියලා ආරංචියි.’’ යනුවෙනි.
‘‘ඇයි ලබන අවුරුදදෙ මේ අවුරුද්දෙම පුළුවන්’’ ඇමැතිවරයාගේ පිළිතුරු දුන්නේ සිනහසෙමිනි.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා හා විදේශ කටයුතු ඇමැතිවරයා වැඩි කාලයක් සතරකන්මන්ත්‍රණයක නිරත වූහ.
ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සිය 250 වන ජාතික දින උත්සවයේදී තානාපති කාර්යාල කිහිපයක නිලධාරීන් මෙන්ම බටහිර තානාපති කාර්යාලයක නිලධාරීන් කතා බහ කර ඇත්තේ ඉදිරියේදී ආණ්ඩුවේ අගමැති ධුරයේ සටනක් නිර්මාණය වෙනු ඇතැයි අනුමාන කරන බවයි.



