විශ්‍රාමික ගුරු-විදුහල්පතිවරු මහනුවරදී විරෝධතාවක

වසර 24ක් පුරා පැවති වැටුප් විෂමතාව හේතුවෙන් අසාධාරණයට ලක්වූ විශ්‍රාමික ගුරු සහ විදුහල්පතිවරුන් පිරිසක් අද ( 17) මහනුවර ඔරලෝසු කණුව අසලදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.

විශ්‍රාමික ගුරු හා විදුහල්පතිවරුන්ගේ ජාතික සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවයේදී අවධාරණය කෙරුණේ, 1997 සිට 2021 දෙසැම්බර් 31 දක්වා සේවය කර විශ්‍රාම ලැබූ පිරිසට, ඔවුන් සේවයේ සිටියදී පැවති බරපතළ වැටුප් විෂමතාව හේතුවෙන් අද වන විට විශාල අසාධාරණයක් සිදුව ඇති බවයි.

එම සංවිධානය පෙන්වාදෙන ආකාරයට 1997 බී.සී. පෙරේරා වැටුප් කොමිෂන් සභාවේ නිර්දේශවලදී ගුරු හා විදුහල්පති වැටුප් ඉහළ නොදැමීම හේතුවෙන්, සමස්ත රාජ්‍ය සේවයට සාපේක්ෂව ඔවුන්ගේ වැටුප් 60%ක් පමණ පහළ අගයකට විෂමතාවකට ලක්ව තිබේ.

මෙම විෂමතාවය ඉවත් කිරීම සඳහා පිහිටවූ “සුබෝධනී” වැටුප් කමිටුවේ නිර්දේශ මත 2022 ජනවාරි 01 වැනිදා සිට සක්‍රිය සේවයේ සිටි ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ වැටුප් 20%කින් (විෂමතාවයෙන් 1/3ක්) ඉහළ නැංවීමට රජය කටයුතු කළේය.

එහෙත්, 1997 සිට 2021 අවසානය දක්වා අඩු වැටුප් මත සේවය කර විශ්‍රාම ගිය පිරිසට මෙම “සුබෝධනී” කමිටු නිර්දේශ යටතේ කිසිදු ගෙවීමක් හෝ ඔවුන්ගේ විශ්‍රාම වැටුප් නිවැරදි කිරීමක් මෙතෙක් සිදුවී නොමැත.

උද්ඝෝෂකයින් පෙන්වා දුන්නේ මෙම අසාධාරණය හේතුවෙන් ඔවුන්ට, සේවයේ යෙදී සිටියදී අඩු වැටුප් ලැබීම, අඩු වැටුප් තලයක් මත සිට විශ්‍රාම ගැනීම නිසා අඩු විශ්‍රාම පාරිතෝෂිකයක් ලැබීම, ලැබිය යුතු නියමිත විශ්‍රාම වැටුපට වඩා අඩු විශ්‍රාම වැටුපක් ලැබීම, 2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දැමීමෙන් පසු විශාල වැටුප් විෂමතා පරාසයකට ලක්වීම හමුවේ බරපතළ අසාධාරණයන්ට ලක්වීමට සිදුව ඇති බවයි.

විශ්‍රාමික ගුරු හා විදුහල්පතිවරුන්ගේ ජාතික සංවිධානය අවධාරණය කරන්නේ, ඔවුන්ට වසර 24ක් පුරාවට අහිමි වූ රුපියල් දසලක්ෂ ගණනක මුදල පිළිබඳව පසුගිය සමයේ ආර්ථික තත්ත්වය සලකා බලා නිශ්ශබ්ද වුවද, මේ මොහොතේ එම වැටුප් විෂමතා ඉවත් කර, ලැබිය යුතු නියමිත විශ්‍රාම වැටුප ලබා දෙන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටින බවයි.

තම සංවිධානය කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට අයත් නොවන ස්වාධීන සංවිධානයක් බව ද ඔවුහු සඳහන් කළහ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *