ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට තායිලන්තයට වීසා නොමැතිව ඇතුළුවීමට ලබාදී තිබූ පහසුකම සැප්තැම්බර් 15 වැනිදා සිට අහෝසි කිරීමට තායි රජය තීරණය කර තිබෙනවා.
තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ, සංශෝධිත වීසා නිදහස් කිරීමේ සහ වීසා ඔන් ඇරයිවල් (Visa on Arrival) ක්‍රමවේදය සම්බන්ධ නව නියෝග අගෝස්තු 31 වැනිදා රාජකීය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති බවයි.
එම නව නියෝග සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
තායි කැබිනට් මණ්ඩලය විසින් පසුගිය මැයි මාසයේදී අනුමත කළ වීසා ප්‍රතිපත්ති සමාලෝචනයකට අනුව මෙම සංශෝධන සිදුකර තිබෙනවා.
ඒ අනුව, මෙතෙක් ක්‍රියාත්මක වූ දින 60ක වීසා නිදහස් කිරීමේ ක්‍රමය අහෝසි කිරීමටත්, කෙටි කාලීනව වීසා නොමැතිව ඇතුළුවීමට අවසර ලබාදෙන රටවල් ලැයිස්තුව සංශෝධනය කිරීමටත් තීරණය කර තිබෙනවා.
ජාතික ආරක්ෂාව, සංචාරක කර්මාන්තය සහ ආර්ථික අවශ්‍යතා, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මෙන්ම තායිලන්තයේ විද්‍යුත් වීසා (e-Visa) ක්‍රමවේදය ලබාගත හැකි වීම ඇතුළු කරුණු මෙම සමාලෝචනයේදී සැලකිල්ලට ගෙන ඇති බව තායි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.
ඒ අනුව, සැප්තැම්බර් 15 වැනිදා සිට තායිලන්තයට සංචාරය කරන ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමියන් එරටට පැමිණීමට පෙර අදාළ වීසා බලපත්‍රයක් ලබාගත යුතු වනවා.
වීසා අයදුම්පත් තායිලන්තයේ නිල මාර්ගගත e-Visa පද්ධතිය හරහා ඉදිරිපත් කළ හැකි බවද එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
කොළඹ පිහිටි තායි රාජකීය තානාපති කාර්යාලය වෙත පැමිණ වීසා අයදුම්පත් භාරගැනීම සිදු නොකරන අතර, අයදුම්පත් ඉදිරිපත් කිරීම සහ අදාළ ගෙවීම් සියල්ල මාර්ගගතව සිදුකළ යුතු බවද දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත්, සැප්තැම්බර් 15 වැනිදාට පෙර දැනට ක්‍රියාත්මක වීසා නිදහස් කිරීමේ ක්‍රමය යටතේ තායිලන්තයට ඇතුළුවන ශ්‍රී ලාංකික සංචාරකයින්ට, ඔවුන්ට දැනට ලබාදී ඇති අවසර කාලය අවසන් වනතුරු එරට රැඳී සිටීමට අවසර හිමිවන බව තායි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
https://colombo.thaiembassy.org/en/publicservice/new-visa-measures?page=5d7d051f15e39c0cf800627f



