“සජබේ මහඇමති කතාවට මට හිනාගියා..”

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බ්‍රහස්පතින්දා දිනයක හමුවී පැවති සාකච්ඡාවකින් අනතුරුව එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී තමන්ට බස්නාහිර පළාත් මහඇමති ධූර අපේක්ෂකත්වය ලබාදෙන බවට ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසනවා.

තමන් විපක්ෂනායකවරයා මුණගැසුණු එකම අවස්ථාව නම් පසුගිය 4 වැනිදා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පැවැත්වූ මහජන සංවාදය පැවති දිනයේ පමණක් බවත් එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අවස්ථාවට සහභාගීවී කෙටි වේලාවකින් නික්ම ගිය බවත් රජීව් අමරසූරිය මහතා පෙන්වා දෙනවා.

ඊයේ (27) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් රජීවී අමරසූරිය මහතා සදහන් කළේ අසිත නිරෝෂන් මහතා සදහන් කරන බ්‍රහස්පතින්දාව කුමන මාසයේ කුමන බ්‍රහස්පතින්දාවක්දැයි නිශ්චිතව සදහන් කළේ නම් ඊට පිළිතුරු ලබාදිය හැකි බවයි.

අසිත නිරෝෂන් මන්ත්‍රීවරයාව තමන් ප්‍රථම වතාවට දුටුවේද මෙම අසත්‍ය චෝදනාව පාර්ලිමේන්තුවේ සිදුකළ දිනයේ බවත් ඉන් අනතුරුව ඔහු ගැන සොයාබැලීමේදී පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අසිත නිරෝෂන මන්ත්‍රීවරයාව දුටු බවත් සභාපතිවරයා පවසනවා.

ඔහු සදහන් කරන්නේ මෙවැනි අසත්‍ය චෝදනා සිදුකරමින් යන අසිත නිරෝෂණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇති ඔහුගේ ඡායාරූපය වෙනස්කර ඊට සුදුසු ඡායාරූපයක් යෙදන්නේ නම් මන්ත්‍රීවරයෙක් වශයෙන් එය වඩාත් සුදුසු ක්‍රියාවක් වනු ඇති බවයි.

පාර්ලිමේන්තුව යනු ජනතා මුදලින් නඩත්තු වන ජනතා පරමාධිපත්‍යට යටත් ආයතනයක් බැවින් එම ස්ථානයේ සිට අසත්‍ය ප්‍රකාශ කිරීම පිළිබදව සිය විරෝධය පලකරන රජීව් අමරසූරිය මහතා පෙන්වා දෙන්නේ මෙවැනි තවත් මන්ත්‍රීවරුන් ආණ්ඩුව තුළ ඇත්දැයි තමන් නොදන්නා බවයි.

මෙම අසත්‍ය චෝදනාව පාර්ලිමේන්තුවෙන් පිටත සිදුකළ හොත් තමන්ටද ප්‍රථමයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊට එරෙහිව නඩු පවරනු ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා වැඩිදුරටත් සදහන් කරනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *