“සාමාන්‍ය ගාස්තුව වගේ දෙගුණයක් ගෙවලා මෙට්‍රෝ බස්වල යන්න ලෑස්ති වෙන්න..”

නව මෙට්‍රෝ  බස් රථ සේවාව ධාවනය වන්නේ සම්පූර්ණයෙන්ම අලුත්ම මාර්ග ඔස්සේ බවත් සාමාන්‍ය බස් රථ ධාවනය වන සාම්ප්‍රදායික මාර්ගවල හෝ ඊට සමාන්තරව මෙම බස් රථ ධාවනය නොවන  බවත් ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

අද (24) පැවති පාර්ලිමේන්‍තුවේදි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට දැනට පවතින ලංගම සහ පෞද්ගලික පොදු ප්‍රවාහන බස් රථ සේවාවලින් බැහැරව, මෙම මෙට්‍රෝ බස් රථ ලක්ෂරි  නමැති සම්පූර්ණයෙන්ම අලුත් කාණ්ඩයක් යටතේ මෙහෙයවනු ලබන බවයි.

මෙය සාමාන්‍ය බස් සේවාවක් නොවන බැවින්, එහි ගාස්තු අය කිරීම් ද සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක   අගයක් ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම මෙම ව්‍යාපෘතියේ මූලිකම ප්‍රමුඛතාවය සහ ඉලක්කගත කණ්ඩායම වන්නේ දිනපතා තමන්ගේ පෞද්ගලික මෝටර් රථ, වෑන් රථ හෝ යතුරුපැදිවලින් රැකියා සහ වෙනත් අවශ්‍යතා සඳහා කොළඹ නගරයට පැමිණෙන පිරිස බව ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ පිරිස් කොළඹ නගරයට ඇතුළු වීමට පෙර, නියමිත නැවතුම්පොළවල තමන්ගේ පෞද්ගලික වාහන ගාල් කර මෙම මෙට්‍රෝ බස් රථ සේවාව භාවිතයෙන් කොළඹ නගරය වෙත පැමිණීම රජයේ අපේක්ෂාව බවත්, එමඟින් නගරයේ පවතින දැඩි වාහන තදබදයට ස්ථිරසාර විසඳුමක් ලැබෙනු ඇති බවයි.

මෙම නව සේවාව සඳහා සම්පූර්ණයෙන්ම අලුත් මාර්ග සහ අලුත් බස් රථ යොදවන බැවින්, දැනට ඩිපෝ හරහා ධාවනය වන සාමාන්‍ය බස් රථ ප්‍රතිස්ථාපනය වීමක් හෝ ඒවා ඉවත් කිරීමක් සිදු නොවන බව පැවසූ ප්‍රසන්න ගුණසේන මහතා,  මගී ඉල්ලුම සහ ඉලක්කගත කණ්ඩායම් එකිනෙකට වෙනස් බැවින්, සාමාන්‍ය බස් රථ ධාවන කාලසටහන්වලට මෙයින් කිසිදු බලපෑමක් සිදු නොවන බව එහිදී අවධාරණය කළා.

මෙම ව්‍යාපෘතියේ ආරම්භයක් ලෙස බස් රථ නතර කරන ස්ථාන  21ක් හඳුනාගෙන තිබුණ ද, ආරම්භයේදීම එම ස්ථාන 21ම බස් රථ නතර නොකරන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, මුලදී ඉතාම සරලව ආරම්භ කර, පසුව ක්‍රම ක්‍රමයෙන්  බස් නැවතුම් සංඛ්‍යාව සහ සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *