ශ්‍රී ලංකා බාලදක්ෂ සභාවේ 2026/2027 වසර සඳහා නව නිලධාරි මණ්ඩලය තෝරා පත් කර ගැනීමේ අරමුණින් 2026 මාර්තු 14 වන දින පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ මහා සභා රැස්වීම වළක්වාලමින් ගංගොඩවිල අතිරේක දිසා විනිසුරු සුරංග මුණසිංහ මහතා විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම නඩුව ගොනු කර ඇත්තේ ඉදිරි නිලවරණය සඳහා විධායක කමිටු සාමාජික අපේක්ෂකයෙකු ලෙස තරග වදින මහගම්මුලගේ පුෂ්ප කුමාර මහතා විසිනි.
මෙම විශේෂ මහා සභා රැස්වීම කැඳවීමේදී වත්මන් ලේකම් සුජීව ජයවර්ධන මහතා විසින් සභාවේ සියලුම සාමාජිකයින් වෙත දැනුම් දීමක් සිදු නොකර, තෝරාගත් සාමාජිකයින් පිරිසකට පමණක් රහසිගතව දැනුම් දී ඇති බව පැමිණිලිකාර පාර්ශ්වය අධිකරණය හමුවේ චෝදනා කර තිබිණ.
මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් ලසන්ත මනෝජ් නානායක්කාර, ශ්‍රී ලංකා බාලදක්ෂ සභාපති රන්සිරි පෙරේරා, ලේකම් සුජීව ජයවර්ධන සහ විධායක කමිටු සභාපති තුෂාර සුමනසේකර යන මහත්වරුන් නම් කර ඇත.
ඔවුන් විසින් 1957 අංක 13 දරන ශ්‍රී ලංකා බාල දක්ෂ සභා (සංස්ථාපිත කිරීමේ) පනතේ විධිවිධාන සහ සභාවේ රීතීන් උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට පැමිණිලිකරු කරුණු දක්වා තිබුණි.
පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේ, වගඋත්තරකරුවන්ගේ මෙම නීති විරෝධී ක්‍රියාකලාපය සමස්ත බාලදක්ෂ ව්‍යාපාරයටම බරපතළ හානියක් වන බවයි.
විශේෂයෙන්ම බාලදක්ෂ ව්‍යාපාරයේ නියැලෙන පාසල් දරුවන්ට සහ සාමාජිකයින්ට මෙය අයහපත් පූර්වාදර්ශයක් සපයන බව ඔවුන් අවධාරණය කළහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා විසින් , ශ්‍රී ලංකා බාලදක්ෂ සභාවේ සියලුම නිල බලයෙන් පත්වන ලද සාමාජිකයින් හට අධිකාරි පත්‍ර නිකුත් කිරීමට පෙර, නීති විරෝධී ලෙස මහ සභා රැස්වීමක් මගින් නිලවරණයක් පැවැත්වීම හෝ ඒ සඳහා තීරණය කිරීම මෙන්ම, සභාවේ සියලුම සාමාජිකයින් වෙත දැනුම් දීමකින් තොරව විශේෂ මහා සභා රැස්වීම් කැඳවීම, යනාදී කරුණු වළක්වාලමින්, 2026 මාර්තු 27 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලදී.
පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දිම වීරක්කොඩි, නීතිඥ අස්විද බෙනඩික්ට් යන මහත්වරුන්, නීතිඥ නිලූකා පතිරගේ මහත්මියගේ උපදෙස් මත පෙනී සිටියහ.



