ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ මෙරටට පනවා ඇති ඉලක්ක සංශෝධනය කිරීමට ශ්‍රී ලංකාව උත්සාහ කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඔහු පවසන්නේ මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවේ අහිතකර විපාක සහ අමතර අයවැය වියදම් දැරීමට සිදුවීම මීට හේතුව බවයි.
මේ මස අගදී අදාල විස්තීරණ පහසුකමෙහි පස්වන සමාලෝචනය සඳහා IMF හි නියෝජිතයින් කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතයි.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ, මෙම IMF නියෝජිත පිරිසේ සංචාරය අතරතුර ඉලක්ක සංශෝධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
මුලින් අපේක්ෂා කළේ පස්වන සමාලෝචනය දෙසැම්බර් 15 වනදා අවසන් කිරීමට වුවද, සුළි කුණාටුව නිසා ඇති වූ අමතර වියදම් හේතුවෙන් මින් පෙර යෝජනා කළ අයවැය ඉදිරි වසර සඳහා තවදුරටත් වලංගු නොවන බව රජය පවසා තිබෙනවා.
මේ නිසා, පවතින තත්ත්වය ඇගයීමට ලක් කර ඉදිරි කාලය සඳහා නව ඉලක්ක සකස් කිරීමට සහ සමාලෝචනය කල් දැමීමට කාලය අවශ්‍ය බව මහබැංකු අධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා.
දිට්වා සුළි කුණාටුවෙන් යටිතල පහසුකම්වලට සහ මිනිස් ජීවිතවලට සිදු වූ දැඩි හානි නිසා ඇතැම් ඉලක්ක සපුරා ගැනීම ප්‍රායෝගික නොවන බව අධිපතිවරයා පෙන්වා දුන්නා.
එබැවින්, සුළි කුණාටුවට පෙර සකස් කළ ජාතික අයවැය සහ වර්තමානයේ වෙනස් වෙමින් පවතින සාධක පිළිබඳව ඉදිරි සාකච්ඡාවලදී අවධානය යොමු කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
එසේම, මෙවැනි තත්ත්වයන්ට වඩාත් ගැලපෙන වේගවත් මූල්‍ය පහසුකම් (RFI) ලබා ගැනීමට ද දැන් ශ්‍රී ලංකාවට අවස්ථාව ඇති බව අධිපතිවරයා පෙන්වා දෙනවා.
2020 වසරේදී ණය තිරසාරභාවය නොමැතිකම නිසා මෙරටට මෙම පහසුකම ලබා ගැනීමට නොහැකි වුවද, දැන් එය අත්කරගෙන ඇති බැවින් RFI පහසුකම වඩාත් සුදුසු විකල්පය බවයි ඔහු අවධාරණය කරන්නේ.
මෙහි ඇති ප්‍රධාන වාසියක් වන්නේ ඒ සඳහා රජය සමඟ නිල ගිවිසුමක් අවශ්‍ය නොවීමයි.
ශ්‍රී ලංකාව වෙත අනුමත කරන ලද EFF වැඩසටහන මාස 48ක කාලය තුළ සම්පූර්ණ කිරීමටයි සැලසුම් කර තිබුණේ.



