මැදපෙරදිග බාන්න බෑ.. එමිරේට්ස්, කටාර් එයාර්වේස්, එතිහාඩ් මත්තල ඉල්ලයි..

මැදපෙරදිග කලාපය තුළ ව්‍යාප්ත වෙමින් පවතින යුධ ගැටුම් හේතුවෙන්, එම කලාපයේ ප්‍රධාන ගුවන් සේවා තුනක් සිය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ භාවිතා කිරීමට අවසර ඉල්ලා ඇත.

එමිරේට්ස් (Emirates), කටාර් එයාර්වේස් (Qatar Airways) සහ එතිහාඩ් (Etihad) යන ගුවන් සේවා ආයතන මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර, ශ්‍රී ලංකා බලධාරීන් මේ වන විට ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් පවතින බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරයන් සමඟ මැදපෙරදිග ගුවන් සීමාවන් බහුතරයක් වසා දැමීමට සිදුවීම මෙම ඉල්ලීමට ප්‍රධාන හේතුව වී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අදාළ තාන්ත්‍රික දූත මණ්ඩල එක්ව මෙම ඉල්ලීමේ ප්‍රායෝගික පැතිකඩ සහ ආරක්ෂිත තත්ත්වයන් පිළිබඳව දැනටමත් ඇගයීමක නිරතව සිටී.

මත්තල ගුවන් තොටුපළ සතු මීටර් 3,500ක් දිගු ධාවන පථය Airbus A350, Boeing 777 සහ A380 වැනි විශාල ප්‍රමාණයේ  ගුවන් යානා හැසිරවීමට සමත් වුවද, දිගුකාලීන මෙහෙයුම් සඳහා පහසුකම් සීමිතය.

විශේෂයෙන්ම යානා නවතා තැබීමේ ඉඩකඩ සීමිත වීම, අදාළ ගුවන් සමාගම්වලට අවශ්‍ය ඉංජිනේරු සේවා ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව, ආහාර සැපයුම් ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් විධිමත් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 210ත් 248ත් අතර පිරිවැයක් දරා 2013 වසරේදී විවෘත කරන ලද මත්තල ගුවන් තොටුපළ සඳහා වැය වූ මුදලින් ඩොලර් මිලියන 190ක් චීන ණය ආධාර යටතේ ලබාගන්නා ලද්දකි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *