හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම්, වියදම් සහ ආදායම් මාර්ග සම්බන්ධයෙන් වසර 10කට පෙර ආරම්භ කරන ලද විමර්ශනයකට අදාළව, වහාම දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවසන් ලිඛිතව දැනුම් දී තිබේ.
මෙරට විවිධ හිටපු දේශපාලනඥයන්ට අදාලව අධිකරණය, නීතිය, විමර්ශන අත තබා ඇතත් කිසිදා අත නොතැබූ දේවත්වයක සිටින චරිතයක් ලෙස මහින්ද රාජපක්ෂ සැලකිය හැක. දූෂණ, අපරාධ චෝදනා කෙතරම් තිබුණත් මහින්ද රාජපක්ෂ කිසිදු චෝදනාවකට අදාලව ප්‍රකාශයක්වත් දී නැත. මහින්දට අත තැබීම දේශපාලන මෝඩකමක්යැයි ඇතැම්හු කියති. මෙම විමර්ශනය රංග දිසානායකට එවැනි කිසිදු කියමනක් අදාල නොවන බව ඔප්පු කර පෙන්වීමක් වනු ඇත. ඇතැම්හු රංග දිසානායකව යක්ෂයාට සමාන කරති. ඉතින්, මේ යක්ෂයා දෙවියන්ට අත තබන මොහොතයි.
අල්ලස් කොමිසම පෙන්වා දෙන්නේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නොහොත් මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් සම්බන්ධයෙන් වන මෙම විමර්ශනය (අංක බීසී/2992/2015) 2015 වර්ෂයේදී ආරම්භ කරන ලද්දක් බවයි. එම විමර්ශනයට අදාළව වත්කම්, වියදම් සහ ආදායම් ලැබීම් ප්‍රභවයන් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් කැඳවමින් 2015 දෙසැම්බර් 14 වන දින මුල්වරට ලිඛිත නිවේදනයක් යොමු කර තිබුණි. කෙසේ වෙතත්, වසර 10කට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් එම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපතිවරයා පියවර ගෙන නොමැති බව කොමිසම සඳහන් කරයි.
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 49 (1) (උ) වගන්තිය යටතේ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව, විධිමත් ලෙස සකස් කරන ලද දිවුරුම් ප්‍රකාශය 2026 අප්‍රේල් මස 10 වන දිනට හෝ ඊට ප්‍රථම කොමිෂන් සභාව වෙත ලැබීමට සැලැස්විය යුතු බවට කොමිසම නියම කර තිබේ.
පනතේ 42 වන වගන්තිය සහ 93 වන වගන්තිය ප්‍රකාරව, යම් පුද්ගලයෙකු සතු වත්කම් ඔහුගේ දන්නා ආදායම් මාර්ගවලට වඩා වැඩි බවත්, ඒවා උපයාගත් ආකාරය පිළිබඳ සාධාරණ පැහැදිලි කිරීමක් කිරීමට ඔහු අපොහොසත් වන්නේ නම් එය ‘දූෂණය’ (Corruption) නැමැති වරද යටතට ගැනේ.
එවැනි වරදකට වරදකරු වන තැනැත්තකුට රුපියල් මිලියන හතකට නොවැඩි දඩයක් සහ වසර 7ක් දක්වා සිර දඬුවම් නියම කළ හැකිය.
වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වන අවස්ථාවක, එම වත්කම් දූෂණයෙන් උපයාගත් ඒවා බවට සැක කරන්නේ නම් කොමිෂන් සභාවට පහත පියවර ගත හැකිය. එහිදී විමර්ශනය අවසන් වන තෙක් අදාළ බැංකු ගිණුම් හෝ දේපළ පැවරීම සහ භාවිතය තහනම් කිරීමට නියෝග නිකුත් කළ හැකිය. අධිකරණය මගින් වරදකරු කරනු ලැබූ විට, නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් බවට තහවුරු වන සියලු දේපළ සහ වත්කම් රජයට රාජසන්තක කිරීමට නියෝග කළ හැකිය.
අදාළ විමර්ශනයට කරුණු ඉදිරිපත් කිරීම සඳහා දැනටමත් දශකයකට අධික කාලයක් ලබා දී ඇති බැවින්, මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලසීමාව තවදුරටත් දීර්ඝ නොකරන බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එස්.ඒ. දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියේ දැඩිව අවධාරණය කර ඇත.
මෙම ලිපිය 2026 මාර්තු මස 23 වන දින හිටපු ජනාධිපතිවරයාගේ තංගල්ලේ පිහිටි ‘කාල්ටන් නිවස’ වෙත යොමු කර තිබේ.



