නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම් අඛණ්ඩව දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
අද (14) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හා සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මේ බව සඳහන් කළා.
එම සංගමය පැවසුවේ පසුගිය නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය තුළ මෙරට සෞඛ්‍ය සේවයේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලුු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබා දීම සඳහා අවශ්‍ය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හෝ ක්‍රියාමාර්ග කිසිවක් අන්තර්ගත නොවීම තුළ සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයින් තුළ බරපතළ නොසන්සුන්තාවයක් හටගත් බවය.
ඒ අනුව සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ග ගණනාවක් දියත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දුන් ලිඛිත එකඟතාවයන් මත එම වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවත් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළා.
ඒ අනුව ඊයේ (13) දින පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමේදී දීර්ඝ ලෙස පවතින ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ බව ඔහු පැවසුවා.
ඒ අනුව චමිල් මහතා පැවසුවේ සෞඛ්‍ය කාර්යමණ්ඩලය අඩුව, වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය, ඖෂධවල් හිඟය, සෛල උපකරණවල හිඟය මෙන්ම මූලික පහසුකම්වල පවතින හිඟය ඇතුළු ගැටළුවලට විසඳුම් ලබාදීමට ඉදිරි දින 10ක කාලයක් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීමට තීරණය කළ බවයි.
ඒ අනුව එම කාල රාමුව තුළදී ගැටළු විසඳීමට අමාත්‍යාංශය අපොහොසත් වන්නේ නම් එළැඹෙන 23 වැනි දින සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට විධායක කමිටුව ඒකමතිකව තීරණය කළ බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කළා.



