අකුරේගොඩ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ආධාර අනුබලදීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් හතරදෙනා අතර, එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සිටින බවට පොලිසිය පවසනවා.

අවුරුදු 20 සහ 24 යන වයස්වල පසු වන මෙම සැකකරුවන් දෙදෙනා මේ සඳහා මෙහෙයවා ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන ”මල්වානේ ටුටූ“ සහ ”මෝදර නිපුන“ නැමැත්තන් දෙදෙනා බවටයි දැනට තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මෙම ද්විත්ව ඝාතනයට අදාලව සැකකරුවන් හතරදෙනකු කොට්ටාව ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබූ අතර දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි කළු පැහැති මෝටර් රථය පිටුපසින් තවත් මෝටර් රථයකින් මොවුන් පැමිණ ඇති බවයි.

ඝාතනය සඳහා වෙඩික්කරුවන්ට ගිනි අවි ලබාදී ඇත්තේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් බවද අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් අයෙක්ද මොවුන් අතර සිටින බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකරුවන් හතරදෙනා පැමිණි මෝටර් රථය මේ වන විට පොලිසිය භාරයට ගෙන ඇති අතර ඝාතනයට අදාලව තවත් සැකකරුවන් තුන්දෙනෙකු සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළා.

මේ අතර වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ගාල්ල – පිටිගල – සුදුවැල්ලෑව පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණා.

අකුරේගොඩ ත්‍රිවිධ හමුදා මූලස්ථානයට මීටර් 600ක් පමණ ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳසලක රථ ගාලේ මෝටර් රථයක සිටි මෙම නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ පසුගිය 13 වැනිදා පස්වරුවේයි.

ඔවුන් සිටි මෝටර් රථය හරස් කර නැවැත්වූ මෝටර් රථයක සිටි දෙදෙනෙකු ඉන් බැස ටී – 56 වර්ගයේ ගිනි අවියකින් සහ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබුණා.

එලෙස පළා ගිය වෙඩික්කරුවන් ගමන් ගත් මෝටර් රථය කොට්ටාව ආසන්නයේදී යතුරුපැදියක ගැටී අනතුරක්ද සිදු කර තිබූ අතර ඔවුන් පැමිණි මෝටර් රථයේ අංක තහඩුව එම ස්ථානයේ තිබී සොයා ගත්තා.

පසුව අදාල මෝටර් රථය, බද්දේගම අඟලිය මුල්කඩ පාලම ආසන්නයේ ගිනි තබා තිබියදී සොයාගත් අතර, වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය තුළ හතරදෙනෙකු සිට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *