“අපිට බස්වලින් හූ කියනවා..”

ඥානසාර හිමියන්ට කොන්දේසි විරහිතව ජනාධිපති සමාව ලබා දිය යුතු බවත්, එසේ නොකරන්නේ නම් ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු බවත් බලංගොඩ කස්ස්ප හිමි පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවල නිරතවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (16) විශේෂ නියෝගයක් නිකුත් කිරීමෙන් පසුවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය අනුව බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් වන බැවින්, එම වගකීම ඉටු කරමින් ඥානසාර හිමියන්ට නිදහස ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව ද උන්වහන්සේ සඳහන් කර තිබුණා.

මහනුවර සිට අරණ්‍යවාසී හා ග්‍රාමවාසී භික්ෂූන් වහන්සේ දහසකට අධික පිරිසක් පාගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බවත්, ජනාධිපතිවරයා වෙත සිය වගකීම සිහිපත් කිරීම එහි අරමුණ වූ බවත් උන්වහන්සේ පවසා තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ, භික්ෂූන් වහන්සේලා සාමකාමීව පිරිත් සජ්ඣායනා කරමින් හා භාවනා කරමින් සිය ඉල්ලීම ඉදිරිපත් කිරීමට පැමිණි නමුත්, පොලීසිය සහ පැලවත්තේ කාර්යාලයේ පිරිස් විසින් එම අවස්ථාව ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට ගෙන යාමට උත්සාහ කළ බවයි.

කෙසේ වෙතත්, එවැනි තත්ත්වයකට ඉඩ නොදුන් බව ද උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.

තවද, අවශ්‍ය වුවහොත් කොළඹ නගරයේ කටයුතු අඩාල කිරීමට හැකියාව තිබුණ ද එවැනි කලබලකාරී තත්ත්වයක් ඇති කිරීමට තමන් වහන්සේලාට අවශ්‍ය නොවන බවත්, නීත්‍යනුකූල හා ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග ඔස්සේ කටයුතු කරන බවත් උන්වහන්සේ පවසා තිබෙනවා.

බුද්ධාගමට, බුද්ධ ශාසනයට සහ චීවරයට එරෙහිව කටයුතු කිරීමට ඉඩ නොදෙන බව අවධාරණය කළ උන්වහන්සේ, එවැනි ක්‍රියා දිගින් දිගටම සිදුවන්නේ නම් ඊට ප්‍රතිචාර දැක්වීමට සිදුවනු ඇතැයි ද සඳහන් කර තිබුණා.

එමෙන්ම, භික්ෂූන් වහන්සේලාට අපහාස වන අයුරින් කටයුතු කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය ප්‍රකාරව, 9 වැනි වගන්තිය ද සැලකිල්ලට ගනිමින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දිය යුතු බව අවධාරණය කළ උන්වහන්සේ, උන්වහන්සේට සිවුරක් පූජා කිරීමේ අරමුණින් නව සිවුරු මැසීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කරන බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර ඇති බැවින් එක් සිවුරක් වෙනුවට සිවුරු සිය දහසක් මැසීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා දේශීය හා විදේශීය බෞද්ධ ප්‍රජාවට එක්වන ලෙස ආරාධනා කරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කර කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ,

“මේ තැන්වලින් පොලීසිය මහත්තුරු ඉද්දි බස්වලින් වාහනවලින් හූ කියාගෙන යනවා, එක්කෙනෙක් දෙන්නෙක්. හරිද? මේ සිවුරට ආයේ මේ රටේ හූ කියන්න බෑ. මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් යැයි කියාගත්තු 2.50 හේ ඇත්ත මම මේ කියන්නේ සදාචාර සම්පන්න මාධ්‍යවේදීන්ට නෙමෙයි, මේ කාමරයක් ඇතුලේ කැමරාවක් අටෝගෙන ක්ලිප් ෆෝන් එකක් ගහගෙන ඔහේ කුණුහරප කියන අසභ්‍ය වදන් කියන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. බුද්ධ ශාසන නීතිය රටේ ස්ථාපිතයි. ඒක ක්‍රියාත්මක කරලා උන්ගේ කටවල් වහන්න ඕනේ.

කරුණාකරලා කොන්දේසි විරහිතව ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්ති ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 යත් සමග කියවමින් ජනාධිපති සමාව දීලා මට ඥානසාර හාමුදුරුවන්ගේ මූණ බලලා මේ අපි සකස් කරන චීවරය උන්වහන්සේට පූජා කරන්න ඕනේ. විශේෂයෙන් අපි ආරාධනා කරනවා දෙස් විදෙස් බෞද්ධ ප්‍රජාවට අපි ඥානසාර හාමුදුරුවන්ට සිවුරක් මහනවා. සිවුරු එකක් නෙමෙයි. ගැලෙව්වේ එක සිවුරක් නම් අපි සිවුරු සිය දහසක් මහනවා. ඒකට තමයි මෙතනට එන්නේ. අපි පඬු පොවනවා. ඊට පස්සේ උන්වහන්සේට අපි ඒ සියල්ල භාර දීලා අපිත් පින් රැස් කරගන්නවා. ඒ නිසා පින් රැස් කරගන්න පින්කමක් කරගන්න මෙතනට එන්න කියලා දෙස් විදෙස් බෞද්ධ ප්‍රජාවට අපි ආරාධනා කරනවා, හැමෝටම.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *