අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියට යළි අවසර ලැබෙයි ද ?

අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට මධ්‍යම පරිසර අධිකාරිය අනුමැතිය ලබාදී තිබියදී ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් මහජන අදහස් ලබා ගැනීම අවහිර කර ඇති බවත්, පුවත්පත් දැන්වීම් පල කර නැති බවත්, ගැසට් පත්‍රයේ පල කර නැති බවත් අනාවරණය වී තිබෙනවා.

ඒ, ඊයේ (04) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අම්බුළුවාව කන්ද ආශ්‍රිත පරිසර හානි හාන අවධානම ගැන සොයා බැලීම සඳහා ඒකාබද්ධ නිරීක්ෂණ චාරිකාවකට පෙර පැවති රැස්වීමකදී යි.

එම සාකච්ඡාවේදී මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරිය කරුණු දක්වමින් සඳහන් කළේ, අම්බුළුවාවේ ඉඩම් කොටස් උඩපලාත, ගඟඉහළ සහ මාවනැල්ල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස තුනටම අයත් වුවත් මාවනැල්ලට අයිති ඉඩම් කොටස් තවමත් ලියාපදිංචි කර නොමැති බවයි.

එසේම, යම් කටයුත්තක් ආරම්භ කර ඉන් පසු මාවනැල්ලට අවසර ගැනීමට පැමිණි බවත්, අම්බුළුවාවේ ඉඩම් පවරා ගැනීමේ ක්‍රියාවලිය ද අසාමාන්‍ය ලෙස හදිසි කටයුත්තක් සේ සිදුවී ඇති බව ලේඛන පරීක්ෂා කිරීමේදී පෙනී යන බවත් මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළා.

අම්බුළුවාව අයත් ග්‍රාමනිලධාරී වසමේ හිටපු ග්‍රාමනිලධාරී ජගත් ගොඩමුන්න මහතා කරුණු දක්වමින්කියා සිටියේ, අම්බුළුවාවේ අත්තතෝමතිකව සංවර්ධනය සිදුවූ ආකාරයත්, ඊට එරෙහිව ගම්වාසීන් පැමිණිලි කිරීම ගැනත් කරුණු පැහැදිලි කළ අතර, අවිධිමත් සංවර්ධනය ගැන ඡායාරූප සහ වීඩියෝ මඟින්ද පෙන්වා දී තිබුණා.

කේබල් කාර් ව්‍යාපෘතිය සිදු කරන විට ප්‍රදේශවාසීන් සහ පරිසරය බරපතල අන්තුරකට පත් කරමින් ගල් සහ පස් කන්ද මුදුනේ සිට පහළට තල්ලු කිරීමත්, අවදානම් සමඟ ලෙස පස් පුරවා ඇති ආකාරයත් වීඩියෝ සහ ඡායාරූප මඟින් සාක්ෂි පෙන්වමින් කරුණු දැක්වූ හිටපු ග්‍රාම නිලධාරී ගොඩමුන්න මහතා අවධාරණය කළේ, මෙවැනි අවස්ථාවල ජාතික ඩෙනැගිලි පර්යේෂණ ආයතනයෙන් සහ පරිසර අධිකාරියෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදු නොවූ බවයි.

අම්බුළුවාව කන්දේ එක්තරා ස්ථානයකින් බොරවතුර පැමිණීමක් නිරීක්ෂණය කර එය 2024 වසරේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ට පෙන්වා සිටියත් ඔවුන් එහි වාර්තාව ලබා නුදුන් බව ද, දිට්වා අපදාව සිදුවූ අවස්ථාවේ එම ස්ථානය ආශ්‍රිතව නායයෑමක් සිදුවූ බවත්, තමා විශ්‍රාම ගන්නා තෙක්ම ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරීන් මහජන ආරක්ෂාව ගැන සිතා අවශ්‍ය ක්‍රියාමාර් නොගත් බවත්, ඔහු පෙන්වා දුන්නා.

එහිදී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන මහතා පෙන්වා දුන්නේ, අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා අවසර ලබාදීමේ දී මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය විනිවිදභාවයකින් තොරව කටයුතු කර ඇති බවත්, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂ රාශියක් පවා වාර්තා වුවද පාරිසරික ඇගයීමේ ක්‍රියාවලියට වනජීවී දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන නැති බවත්, පාරිසරික තක්සේරු වාර්තාවක් ලබා ගැනීම වෙනුවට මූලික පාරිසරික අධ්‍යයන වාර්තාවක් පමණක් ලබාගෙන ඇති බවත්, ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන අනුව එය මහජන අදහස් සඳහා විවෘත කර නොමැති බවයි.

එසේම, ජාතික පරිසරික පනත අනුව පරිසර අවසරය ලබා දුන් වහාම එය පුවත්පත්වල පල කර ගැසට් පත්‍රයේද පල කළ යුතු වුවද පරිසර අධිකාරිය අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට වංක ලෙස සහයෝගය දැක්වීම සඳහා සහ රජයට අයතා පාඩුවක් කිරීම සඳහා එලෙස පරිසර පනත අනුව කටයුතු කර නැති බවත්, මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇති බවත් තරිඳු ජයවර්ධන ප්‍රකාශ කළා.

එසේම ගම්වාසීන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට ඇමතුම් ලබා ගත් විට එහි ප්‍රධාන නිලධාරියෙක් අම්බුළුවාවට පක්ෂව කතා කරන බවත්, අම්බුළුවාව ව්‍යාපෘතිය නතර කිරීම නිවැරදි නොවන බව හා එවැනි ව්‍යාපෘතිවලට විරුද්ධ වන පිරිස් වෙනත් රටවල නම් ඝාතනය කරන බවට එම නිලධාරියා සඳහන් කළ බවත්, ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඇතැම් නිලධාරීන් විනිවිද බවකින් තොරව කටයුතු කර ඇති බවත් දිනවකවානු සහිතව කරුණු පැහැදිලි කරමින් තරිඳු ජයවර්ධන සඳහන් කළා.

එසේම කේබල් කාර් ව්‍යාපෘතිය අම්බුළුවාවේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල අය සිටින සමාගමකට ලබාදී ඇති බවත්, විදෙස් ආයෝජනයක් යැයි සඳහන් කළද අම්බුළුවාව භාරකාර මණ්ඩල නම් රාජ්‍ය ආයතනයෙන් ද මේ සඳහා මුදල් යොදවන බවත් ඔහු පෙන්වා දුන්නා.

නිරීක්ෂණ චාරිකාව අතරතුරදී වනජීවී දෙපාර්තමේන්තුව අමාත්‍ය ධම්මික පටබැඳි මහතාට පෙන්වා දුන්නේ, වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල ද අනවසරයෙන් ඉදිකිරීම් කර ඇති බවයි.

එසේම, වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් මැනීම් කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වසර ගණනක සිට මැනුම් නියෝග නිකුත් කළ ද මිනින්දෝරු දෙපාර්තමේන්තුව එය ඉටු කර නොමැති බව ද එම දෙපාර්තනේතුව පෙන්වා දුන්නා.

එම අවස්ථාවේදී පැමිණිලිකාර පාර්ශ්වය සඳහන් කළේ, අම්බුළුවාව බාරකාර මණ්ඩලයේ සාමාජිකයකු එලෙස එහි සාමාජිකයකු ලෙස කටයුතු කරමින් සිටියදීම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු ලෙස කටයුතු කරමින් අම්බුළුවාවේ ඉඩම් මැනීමට සම්බන්ධ වී ඇති බවත්, ඔහුගේ බිරිඳද අම්බුළුවාවේ ඉඩම් මැනීමට සම්බන්ධ වී ඇති බවත්, අම්බුළුවාවේ ඉඩම් මැනුම් කළ ආකාරය ගැන බරපතල සැකයක් ඇතිවී තිබෙන බවයි.

නිරීක්ෂණ චාරිකාව අවසන්වී අමාත්‍යවරයා සඳහන් කළේ, අත්තනෝමතික ලෙස ආයෝජන නැවැත්වීමට ආණ්ඩුව කිසිම අවස්ථාවක කටයුතු නොකරන බවයි.

මහජන ආරක්ෂාව සහ පරිසර ආරක්ෂාව ඇතුළු කරුණු ගණනාවක් ගැන සොයා බලන බවත්, එසේ සොයා බැලීමෙන් පසු අම්බුළුවාව ගැන තීන්දුවක් ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *