ඇති වූ ආපදා තත්ත්වය රටේ ප්‍රශ්නයක් මිසක ආණ්ඩුව විසින් ඇති කරවූවක් නොවන බව ත් “ගින්න තිබෙන අවස්ථාවේ වතුර ගසා එය නිවිය යුතු” බව ත් සභානායක, අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ඊයේ (දෙසැ. 1) පැවසීය.
ඕනෑ ම ව්‍යසනයක් දේශපාලන වාසියට යොදා නොසිටීමේ සංස්කෘතියක් සිය පක්ෂයට තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
එමෙන් ම, ජනාධිපතිවරයා පැවැසූ පරිදි ම අපට රටක් වශයෙන් බින්දුවේ සිට නැඟිටීමේ හැකියාව පවතින බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය 27 -28 දිනවල ලංකාවේ ආපදා කමිටු සියල්ල ම රැස්වූ බව ත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ ආපදා කළමනාකරණ කමිටු ද ජනාධිපති – අගමැති – විපක්ෂ නායක ඇතුළු පිරිස ජාතික ආපදා කළමනාකරණ කමිටුද කැඳ වූ බව ත් ය.
සිතියමේ බොහෝ ප්‍රදේශ රතු පැහැයෙන් ඇති නමුත් ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රශ්න නොමැති බව ත් ඒ අනුව පානීය ජලය, ආහාර, සන්නිවේදන පහසුකම් ඇතුළු සියලු කටයුතු මේ වන විට ආණ්ඩුව ජනතාවට ලබා දෙමින් සිටින බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.
අමාත්‍යවරයා සඳහන් කළේ, රාජ්‍ය සේවයේ බොහෝ පිරිස් තවම දුෂ්කරතාවලට මුහුණ දී සිටින බැවින් පාර්ලිමේන්තුව 12.30 වන තෙක් රැස් කිරීමට ඊයේ ඒ අනුව තීරණය කළ බව ය.
කෙසේ නමුත් විපක්ෂයට ජනාධිපතිවරයා සමග නැවත ආපදා තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඊට අවශ්‍ය කටයුතු සැකසීමට තමා සූදානම් බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



