රටේ පැවති අයහපත් කාලගුණයත් සමග පැවැත්වීමට නොහැකි වූ අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 ජනවාරි මස මුල දී පැවැත්වීමට කටයුතු කරන බව අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.
අද(02) මාධ්ය හමුවක් පවත්වමින් ලේකම්වරයා මේ බව කියා සිටියේය.
එමෙන්ම පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් පළාත් සහ දිස්ත්රික් මට්ටමින් සමාලෝචනය කරමින් ගමනාගමන පද්ධතියේ බිඳ වැටිම්, සන්නිවේදන අපහසුතා, විදුලිය බිඳ වැටීම් වැනි අපදාවන්ට ලක්නොවූ පළාත් සහ දිස්ත්රික්කවල පාසල් දෙසැම්බර් 16 වැනි දින ආරම්භ කරන අතර අනෙකුත් පාසල් ආරම්භ කිරීම පිළිබඳ පළාත් හා දිස්ත්රික් මට්ටමින් අදාළ නිලධාරීන් හා සම්බන්ධ වෙමින් ඉදිරියේ දී හැකි ඉක්මනින් තීරණ ගන්නා බවත් ය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අධ්යාපන ලේකම් පෙන්වා දුන්නේ ආපදාවන්ට ලක් නොවූ විශ්වවිද්යාල, ජාතික අධ්යාපන විද්යා පීඨ සහ වෘත්තීය අධ්යාපන ආයතන දෙසැම්බර් මස 08 වැනි දින ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම ප්රායෝගික අපහසුකම් ඇති කිසියම් උසස් අධ්යාපන ආයතනයක් වේ නම් අදාළ ආයතනයේ ප්රධානියාට ආරම්භ කරන දිනය පිළිබඳ තීරණ කිරීමට අදාළ ආයතන ප්රධානීන්ට බලය පැවරෙන බවයි.



