දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 52කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලානය තමන් සතුකර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (2) සමත් විය.
එහිදී තියුණු මුහුණුවරක් ගත් තරගයේ ලකුණු 299ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට පන්දුවාර 45.3ක් අවසානයේ කඩුළු සියල්ල දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 246ක් පමණයි.
එහිදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායිකා ලෝරා වොල්වාඩ් ලකුණු 101ක් රැස් කළ අතර, ටස්මින් බ්‍රිට්ස් ලකුණු 23ක්ද, සුනේ ලූස් ලකුණු 25ක්ද, සිනාලෝ ජැෆ්ටා ලකුණු 16ක්ද, ඇනරි ඩර්ක්සන් ලකුණු 35ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දීප්ති ශර්මා කඩුළු 05ක්ද, ෂෆාලි වර්මා කඩුළු 02ක්ද, ශ්‍රී චරණී කඩුළු 01ක්ද ඉන්දියාව වෙනුවෙන් දවාගත්තා.
වර්ෂාව හේතුවෙන් පැය 02ක ප්‍රමාදයකින් අනතුරුව ආරම්භ වූ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියා කණ්ඩායම ලකුණු 298ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 07ක් දැවී යාමෙන්.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ෂෆාලි වර්මා විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 87ක්ද, ස්ම්රිති මන්දනා ලකුණු 45ක්ද, ජෙමිමා රොඩ්රිගස් ලකුණු 24ක්ද, නායිකා හර්මන්ප්‍රීත් කෞර් ලකුණු 20ක්ද, අමන්ජොත් කෞර් ලකුණු 12ක්ද. දීප්ති ශර්මා ලකුණු 58ක්ද, රිචා ගෝෂ් ලකුණු 34ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන්, අයබොන්ගා කාකා කඩුළු 03ක්ද, නොන්කුලුලෙකෝ ම්ලාබා, නඩින් ද ක්ලර්ක් සහ ක්ලෝයි ට්‍රයෝන් එක් කඩුල්ල බැඟින් දවාගත්තා.
මෙම ජයග්‍රහණයත් සමග ඉන්දීය පිරිමි හා කාන්තා කණ්ඩායම් දිනාගත් ක්‍රිකට් ලෝක කුසලාන සංඛ්‍යාව 5ක් බවට පත්විය.
ඉන්දීය පිරිමි කණ්ඩායම එක්දින ලෝක කුසලාන 2කදී (1983, 2011) හා විස්සයි20 ලෝක කුසලාන 2කදී (2007, 2024) ලෝක ශූරයන් බවට පත්ව තිබේ.
ඉන්දීය කාන්තා කණ්ඩායම මීට පෙර අවස්ථා දෙකකට එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගය ක්‍රීඩාකර තිබුණද, එම දෙවතාවේ දීම ඔවුන් පරාජය වී තිබුණි.



