බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සදහන් කරනවා.
මෙම විශ්වාසභංග යෝජනාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් තැබූ බව ඔහු සදහන් කළා.
නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව විගණකාධිපති නිර්දේශ මත පාර්ලිමේන්තුවේ, රජයේ මුදල් කාරක සභාව විසින් ප්‍රතිපත්තිමය උපදෙස් සපයා තිබියදී රජයේ මාර්ගෝපදේශ ඇතුළු මූලික අවශ්‍යතා උල්ලංඝනය කර කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව නොමග යවමින් ගල් අඟුරු මිල දී ගෙන ඇති බවට විපක්ෂය අදාළ විශ්වාසභංගය මගින් චෝදනා කරනවා.
මීට අමතරව පෞද්ගලික සමාගමකට වාසි සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු කිරීමෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා පනතේ 70 වන වගන්තිය යටතේ විග්රහ කෙරෙන ‘දූෂණය’ නමැති වරද කිරීම සම්බන්ධයෙන් කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවද මෙම විශ්වාසභංගයට තවත් හේතුවක් වී තිබෙනවා.
2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් සේවය කරමින් සිටියදී, පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු කිරීමෙන් රජයට රුපියල් 8,859,708/-ක පාඩුවක් කළ බවට අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරනු ලැබූවා.



