ගංවතුර සහ නායයෑම් අවදානම තවදුරටත්

අධික වැසි තත්ත්වය පහව ගොස් තිබුණද, ගංවතුර සහ නායයෑම් අවදානම තවදුරටත් පවතින බැවින් මහජනතාව නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ඉල්ලා සිටී.

අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ, මධ්‍යම කඳුකරයේ විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ලැබුණු අධික ජලය ටිකෙන් ටික පහළට ගමන් කරමින් පවතින බැවින්, ගංවතුර උවදුර සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ප්‍රකාශ පිළිබඳව නිරන්තර අවධානයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.

එසේම මේ වන විට දිවයින තුළ ඇති සෑම ස්ථානයකම පස් තෙත්වී ඇති බැවින්, ඕනෑම මොහොතක නායයෑම් උවදුරු ඇතිවීමේ හැකියාවක් පවතී. එබැවින් සිය නිවෙස් කරා යාමේදී සහ ඒ අවට කටයුතුවලදී ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වීමේ වැදගත්කම ඒ මහතා අවධාරණය කළේය.

සුළි කුණාටුවේ සෘජු බලපෑම ඉවත් වී ඇතත්, එහි වක්‍ර බලපෑම තවමත් පවතින බවද කරුණානායක මහතා සඳහන් කළේය. ඒ අනුව, ධීවර ප්‍රජාව සඳහා විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කරමින්, ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරේ සිට පුත්තලම දක්වා ඇති වෙරළ තීරය තුළ තවදුරටත් අනතුරු ඇඟවීම් බල පැවැත්වේ.

මෙම සීමාව තුළ සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු රළ මීටර් 2-3 මට්ටමින් ඉහළ යාමේ තත්ත්වයක් පවතී.

අද දිනයේදී මෙම සීමාවේ ධීවර සහ නාවික කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වළකින ලෙස දැනුම් දෙයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *