අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවට නම් කිරීම සම්බන්ධයෙන් සභානායකවරයා පාර්ලිමේන්තු වරප්රසාද කඩ කර නොමැති බව කථානායක ජගත් වික්රමරත්න ඊයේ (10) නිවේදනය කළේය.
පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර විසින් පසුගිය ඔක්තෝබර් 07 වන දින පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කාරණයක් සම්බන්ධයෙන් තම තීන්දුව ප්රකාශයට පත් කරමින් කථානායකවරයා මේ බව පැවසීය.
පාර්ලිමේන්තුමන්ත්රී දයාසිරි ජයසේකර එහිදී චෝදනා කර තිබුණේ, අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ධුරය සඳහා අපේක්ෂකයකු නම් කිරීමේ ක්රියාවලියේදී සභානායකවරයා ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව නොමඟ යවා ඇති බවයි. තවද, මෙය පාර්ලිමේන්තුවේ වරප්රසාද කඩ කිරීමක් බැවින්, එම කාරණය විමර්ශනය සඳහා පාර්ලිමේන්තු වරප්රසාද පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතු බවට ද ඔහු ඉල්ලා තිබිණි.
මේ සම්බන්ධව තම තීන්දුව ප්රකාශයට පත් කරමින් කථානායක ජගත් වික්රමරත්න මහතා පෙන්වා දුන්නේ, ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව ස්ථාපිත කර ඇත්තේ සුවිශේෂී සහ ස්වාධීන ව්යවස්ථාපිත ආයතනයක් ලෙස මිස, පාර්ලිමේන්තු බලතල සහ වරප්රසාද පනතට අයත් ආයතනයක් ලෙස නොවන බවයි.
“ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව ක්රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ හෝ එහි ස්ථාවර නියෝග යටතේ නොව, ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේයි. එබැවින්, සභාවේ ඕනෑම තීරණයක් හෝ ක්රියාමාර්ගයක් පාර්ලිමේන්තුවේ හෝ පාර්ලිමේන්තු කමිටුවක ක්රියාමාර්ග ලෙස සැළකිය නොහැකියි.”
ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව පාර්ලිමේන්තු කමිටුවක් නොවන බැවින්, සභාව නොමඟ යැවීම පිළිබඳ චෝදනා පාර්ලිමේන්තු බලතල සහ වරප්රසාද පනතට හෝ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවලට යටත් නොවේ.
පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර ගේ චෝදනාවලින් පාර්ලිමේන්තු වරප්රසාද කඩ කිරීමේ කිසිදු කරුණක් හෙළි නොවන බව පවසමින්, මෙම ගැටළුව ආචාර ධර්ම සහ වරප්රසාද පිළිබඳ කාරක සභාවට යොමු නොකරන බව කථානායකවරයා නිවේදනය කළේය.



