“මන්ත්‍රී වැටුප් ජවිපෙ අරමුදලට යෑම රටට රහසක් නෙවෙයි..”

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මේ වනවිට ගෙවන වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය. 

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම හෙළිකිරීම සිදුකළේ, සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අසන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

ඒ අනුව මන්ත්‍රීවරයෙක්ට මාසිකව රුපියල් 54‍,285ක දීමනාවක් ගෙවනු ලබයි.

මාසික සංග්‍රහ දීමනාව ලෙස ගෙවනු ලබන්නේ රුපියල් 1,000 මුදලකි.‍

මාසික රියදුරු දීමනාව ලෙස රුපියල් 3,500ක් ගෙවන අතර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මඟින් රියදුරෙකු ලබාගතහොත්, එම මන්ත්‍රීවරයාට රියදුරු දීමනාවක් නොගෙවන බව ද හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

දුරකථන දීමනාව ලෙස රුපියල් 50,000ක් ද ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 15,000ක් ද පාර්ලිමේන්තු 
මන්ත්‍රීවරයෙකුට ගෙවනු ලබයි. 

කාර්යාල දීමනාව රුපියල් ලක්ෂයක් වන අතර රැස්වීම් දීමනාව ලෙස දිනකට ගෙවනු ලබන මුදල රුපියල් 2,500කි. 

පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගීවීම වෙනුවෙන් දිනකට රුපියල් 2,500ක් සහ කාරක සභා දීමනාව ලෙස දිනකට රුපියල් 2,500ක් ගෙවන බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. 

පාර්ලිමේන්තු රැස්වීම් නොමැති දිනවල පැවැත්වෙන කාරක සභා රැස්වීම් සඳහා දිනකට රුපියල් 2,500ක් ගෙවනු ඇත.

එමෙන්ම එක් එක් මන්ත්‍රීවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර ප්‍රමාණය පදනම් කරගනිමින් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට ඩීසල් ලීටර් 419.76ක ප්‍රමාණයක් පදනම් කරගනිමින් සෑම මාසයකම පළමු වන දිනට වෙ‍ළෙඳපොළේ ඩීසල් ලීටරයක අනුමත මිල ගණන් අනුව ඉන්ධන දීමනාව ගෙවන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *