වතු කම්කරු ප්රජාවේ දෛනික වැටුප මෙම වසර (2025) තුළදී රුපියල් 1,750 දක්වා ඉහළ නැංවීමට රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ අද ( 12) පෙරවරුවේ බණ්ඩාරවෙලදී පැවැති කඳුකර මලයගම් ප්රජාවේ ප්රතිලාභීන් 2,000ක් සඳහා නිවාසලාභී හිමිකම් පත් ප්රදානයේ කිරීමේ උත්සවයට එක්වෙමිනි.
ඉන්දීය ආධාර යටතේ ක්රියාත්මක නිවාස 10,000ක් ඉදිකිරීමේ ව්යාපෘතියේ සිව්වැනි අදියර යටතේ කඳුකර මලයගම් ප්රජාවට මෙම හිමිකම්පත් ප්රදානය කෙරිණි. එහිදී ප්රතිලාභීන් 2,000 දෙනා සංකේතවත් කරමින් හිමිපත් ප්රදානය ජනාධිපතිවරයා අතින් සිදු විය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේද පැවසීය.
“මෙම මලයගම් ජන ප්රජාව විසින් ප්රබලතම වැඩ කොටසක් ඉටු කරනවා. ඒ වගේම අවුරුදු 202ක් ඔවුන් මියයමින් ජීවත් වෙනවා. ඒ නිසා ආණ්ඩුවක් හැටියට වගකීමක් තියෙනවා ඔවුන්ට මූලික වුවමනාවන් සහ සැපවත් ජීවිතක් ලබා දෙන්න.”
එමෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ක්ෂේත්ර කිහිපයක් පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
“එහිදී ක්ෂේත්ර කිහිපයක් ගැන අපේ අවධානය යොමු වෙලා තියෙනවා. ඔවුන්ට නිවාසයක හිමිකම ලබා දීම රාජ්යක වගකීමක්. එමෙන්ම දෙවන කාරණය සාධාරණ වැටුපක් ලබා දීම. දිගු කාලෙක ඉඳන් ඔවුන්ගේ ඉල්ලීමක් තියෙනවා රුපියල් 1,750ක වැටුපක් ලබා දෙන්න කියන එක. අපි කුමන ආකාරයකින් හෝ මේ වසර ඇතුළත එම හිමිකම ලබා දීමට කටයුතු කරනවා” යැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.



