“රෑට කරන වැඩ දවල්ට කරන්න අපිට උදව් වෙන්න..”

ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම විසින් මෙරටට ගෙන්වන ලද ගල් අඟුරු තොග විටින්විට ප්‍රමිතියෙන් බාල වී ඇති බවත්, ඒ අනුව ඩීසල්වලින් විදුලිය වැඩියෙන් නිපදවීමට සිදුවීම නිසා ගැටලුවක් උද්ගත වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ 55 වැනි අප්‍රේල් විරු සමරුව වෙනුවෙන් ඊයේ (05) වව්නියාවේදී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කළා.

අවලාද නගමින් තමා ඇතුළු කණ්ඩායම නැවැත්වීමට සමාජ මාධ්‍ය භාවිතා කරන ඇතැම් පිරිස් උත්සහ දරණ බවද ඔහු කියා සිටියා.

එහිදී ඔහු පෙන්වාදුන්නේ, දහවල් කාලයේ විදුලිය නිපදවීමට කිසිදු ගැටලුවක් නොමැති බවත්, ‍පස්වරු 6 සිට රාත්‍රී 10 වනතෙක් විදුලිය සඳහා පවතින ඉල්ලුම වැඩි වීම නිසා රාත්‍රී කාලයේ විදුලිය නිපදවීමට ගැටලුවක් මතුවන බවයි.

ඒ හේතුවෙන් රාත්‍රී කාලයේ සිදුකරන කටයුතු දහවල් කාලයේ සිදුකරන කරන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ,

“ඔය විපක්ෂයේ ඉන්න සමහර අය, ඔය එක එක සෝෂල් මීඩියාවල ඉන්න කට්ටිය හිතන් ඉන්නවා අවලාද ගහලා අපිව නවත්වන්න පුළුවන් වෙයි කියලා. බැහැ. සොරි තමයි. මොකද අපි හොඳට ඕකෙන් තෙම්පරාදු වෙච්ච අය. දැන් විපක්ෂය කියනවා විදුලි අර්බුදය ඇවිල්ලා තියෙන්නෙ හොරකම්කරලා කියලා. නෑ, හොරකම් මොකක්වත් නෑ. ගල් අඟුරු බලාගාරවල අපි බලාපොරොත්තු වන ප්‍රමාණය නිපදවෙන්නේ නෑ. ඒ හොරකම් කරලා නිසා නෙවෙයි. සමාගමකින් අපි ගල් අඟුරු ගෙන්වනවා. ටෙන්ඩර් දීලා ගෙන්වන්නෙ. ඒ සමාගම ගෙන්වපු ගල් අඟුරු විටින්විට බාල වුණා. ඒ ගැන වෙනම පරීක්ෂණයක් යනවා. ඒ සමාගමට දඩත් ගහනවා. හැබැයි අමතර විදුලියක් අපිට රෑට ඕනෙ වෙනවා. ඒක ගන්න වෙන්නෙ අපිට ඩීසල්වලින්. ඩීසල්වලින් වැඩිපුර විදුලිය ගන්න ගියාම විදුලි බිලට ඒක බලපානවා, විදුලි බිල වැඩිවෙනවා. දැන් අපෙ ආණ්ඩුව අධිෂ්ඨානයක ඉන්නවා, මොකක්ද ? ලයිට් කපන්නෙ නැතිව යන්න. හොඳයිනෙ ? හැබැයි ඒක කරන්න මොකක්ද ඕනෙකම තියෙන්නෙ ? ජනතාවගෙන් පුංචි උදව්වක් ඕනෙ. මොකක්ද ? රාත්‍රී කාලයේ විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න. අපිට දවල්ට ප්‍රශ්නයක් නෑ. ඕනෙ තරම් දවල්ට තියෙනවා. වැඩිත් එක්ක මං හිතන්නේ හැබැයි රෑට ප්‍රශ්නයක් තියෙනවා මොකද රෑට ඉල්ලුම වැඩී 6 සිට 10 දක්වා. සපුරන්න තියෙන දේවල් අඩුයි අපිට.

ඒක නිසා අපි ආදර්ශයක් දෙමු. අපි හැමෝම අපේ ගෙදර තියෙන විදුලි බල්බ 5ක් තියෙනවා නම් 2ක් නිවන්න පුලුවන් නේ. රාත්‍රී කරන වැඩ දවල් කරගන්න….”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *