මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ඇතිවිය හැකි ආර්ථික බලපෑම් අවම කිරීම සහ ශ්රී ලංකාවේ දිගුකාලීන ආර්ථික ප්රතිසංස්කරණ සඳහා සහාය ලබාදීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඩොලර් මිලියන 200ක ප්රතිපත්ති පාදක ණය මුදලක් අනුමත කර තිබේ.
ADB සඳහන් කරන්නේ, මෙම මූල්ය සහාය මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ඇතිවන ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවන්ට මුහුණ දීමට අවදානමට ලක්විය හැකි ආර්ථිකයන්ට සහාය වීම සඳහා ක්රියාත්මක ඩොලර් මිලියන 450ක කලාපීය ආධාර පැකේජයේ කොටසක් බවයි.
එම පැකේජය යටතේ ශ්රී ලංකාව සඳහා වෙන් කර ඇති මුදලට, මැදපෙරදිග ගැටුම්වලින් ඇතිවන ආර්ථික පීඩනයන්ට මුහුණ දීම සඳහා අතිරේක මූල්ය සහායක් ලෙස ඩොලර් මිලියන 100ක්ද ඇතුළත් වේ.
මෙම අරමුදල් රජයේ වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහන් සඳහා යොදා ගැනීමට නියමිත අතර, වෙළෙඳ පද්ධති නවීකරණය, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායන්ගේ (SMEs) තරගකාරීත්වය ඉහළ නැංවීම සහ ආර්ථික කලාප වෙත ආයෝජන ආකර්ෂණය කර ගැනීම මෙහි ප්රධාන අරමුණු වේ.
මෙම ප්රතිසංස්කරණ මගින් අපනයන ව්යාප්ත කිරීම, ශ්රී ලංකාව කලාපීය හා ගෝලීය වටිනාකම් දාමයන් සමඟ සම්බන්ධ කිරීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ පෞද්ගලික අංශය මූලික කරගත් ආර්ථික වර්ධනයක් ප්රවර්ධනය කිරීම අපේක්ෂා කරන බව ADB පවසයි.
වෙළෙඳාම ශක්තිමත් කිරීම සහ අපනයන විවිධාංගීකරණය කිරීම මඟින් අනාගත බාහිර ආර්ථික කම්පනවලට මුහුණ දීමේ ශ්රී ලංකාවේ හැකියාව වැඩි වනු ඇති බවද එම බැංකුව සඳහන් කර තිබේ.
ADB සභාපති මසාටෝ කන්ද මහතා පැවසුවේ, මැදපෙරදිග ගැටුම්වල බලපෑම්වලට මුහුණ දෙන රටවලට කඩිනම් සහාය ලබාදෙන අතරම, දිගුකාලීන ආර්ථික ශක්තිමත්භාවය සඳහා අවශ්ය ප්රතිසංස්කරණවලට ද සහාය දක්වන බවයි.



