සුරාබදු ලොක්කාගේ ප්‍රකාශයට වෘත්තීය සමිති ගේම ඉල්ලයි

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සියයට 20ක් පමණ දූෂිත බවට සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සුරාබදු වෘත්තීය සමිති එකමුතුව දැඩි විරෝධය පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම එකමුතුව සඳහන් කරන්නේ, අදාළ ප්‍රකාශය වහාම නිවැරදි කරන ලෙස කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටීමට විධායක සභාව තීරණය කර ඇති බවත්, එසේ නොවන්නේ නම් ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බවත්ය.

කොමසාරිස් ජනරාල්වරයා මෙම අදහස් පළ කර තිබුණේ පසුගිය ඔක්තෝබර් 17 වැනිදා කොළඹදී පැවැති සමස්ත ලංකා සුරාබදු සැරයන් සහ නියාමක සංගමයේ 74 වන වාර්ෂික සම්මේලනය අමතමිනි.

සුරාබදු වෘත්තීය සමිති එකමුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ප්‍රධාන වශයෙන් ප්‍රශ්න කර ඇත්තේ, දෙපාර්තමේන්තුවේ 20% – 30% අතර ප්‍රමාණයක් දූෂිත නම්, “දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්කය අභිබවා එය 107% ක් දක්වා ඉහළ යාම ප්‍රකාශ කළේ කෙසේද?” යන්නයි.

ඔවුන්ගේ මතය වන්නේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කරන ලද ප්‍රකාශය පදනම් විරහිත හිතලුවක් වන අතර, එය සුරාබදු නිලධාරීන් අපහසුතාවයට පත් කිරීම සඳහා රාජ්‍ය පාලනය හා බදුකරණය සම්බන්ධ නොදැනුවත්කම මත කරන ලද ප්‍රකාශයක් බවයි.

එමෙන්ම විවිධ රජයන් යටතේ විවිධ වෘත්තීය සමිති නායකයින් විවිධ තනතුරු ලබා ඇති බවත්, එම කරුණු වත්මන් රජය යටතේද එලෙසින්ම සිදුවන බවත් අදාළ නිවේදනයේ සඳහන් වේ.

කෙසේවෙතත්, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා හමුවී එම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කර, අදාළ ප්‍රකාශය නිල වශයෙන් නිවැරදි කරන ලෙස ඉල්ලා සිටීමට විධායක සභාව තීරණය කර ඇත. එසේ නොකළහොත් ඉදිරියේදී ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන් සූදානම් බව සුරාබදු වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කරයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *