හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාලව හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ.

කොමිසම මගින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන දූෂණ චෝදනාවක් වන්නේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කිරීමයි. එහිදී 2014 ඌව පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබූ වකවානුවේදී, රජයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මුවාවෙන් පෝස්ටර් සහ අත්පත්‍රිකා 250,000ක් මුද්‍රණය කිරීමට ඔහු කටයුතු කර ඇත. ඒ සඳහා හලාවත වැවිලි සමාගමට සහ කුරුණෑගල වැවිලි සමාගමට නියෝග නිකුත් කරමින්, එම සමාගම් දෙකට රුපියල් 2,665,000/- ක මූල්‍ය අලාභයක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

එසේම 2015 ජනාධිපතිවරණ සමය තුළ ගංවතුර ආධාර ලෙස බෙදා හැරීම සඳහා සරම් සහ ටී-ෂර්ට් සහිත ඇඳුම් කට්ටල 5,000ක් මෙන්ම සාය සහ හැට්ට ඇතුළත් ඇඳුම් කට්ටල 5,000ක් නිසි ක්‍රමවේදයකින් තොරව හලාවත සහ කුරුණෑගල වැවිලි සමාගම්වලින් මිලදී ගෙන ඇත. මේ හරහා එම සමාගම් දෙකට පිළිවෙළින් රුපියල් 3,275,000/- ක් සහ රුපියල් 3,075,000/- ක පාඩුවක් සිදුකර ඇති අතර, එම ඇඳුම් කට්ටල භෞතිකව ජනතාව වෙත බෙදා දී නොමැති බව ද අනාවරණය වී තිබේ.

හිටපු අමාත්‍යවරයාට එල්ල වී ඇති තවත් චෝදනාවක් වන්නේ මැයි දින පෙළපාලි සඳහා නීතිවිරෝධී ලෙස ඇඳුම් ලබාගැනීමට කටයුතු කිරීමයි. එහිදී 2013 සහ 2014 වසරවල පැවැත්වුණු මැයි දින පෙළපාලිවලට සහභාගී වූවන් වෙනුවෙන් හලාවත වැවිලි සමාගමෙන් ටී-ෂර්ට් 2,000ක් හා සාරි 1,500ක් බැගින් ද, කුරුණෑගල වැවිලි සමාගමෙන් එලෙසම ටී-ෂර්ට් 2,000ක් හා සාරි 1,500ක් බැගින් ද ලබාදීමට අදාළ රාජ්‍ය නිලධාරීන් පෙළඹවීම සහ ඔවුන්ට බලපෑම් කිරීම මොහු විසින් සිදුකර ඇති බව සඳහන් වේ.

මොහු විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමති, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමතිවරයා මෙන්ම පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි.

බුත්තල ප්‍රදේශයේ පිහිටි අක්කර 45 ක පමණ පෞද්ගලික ඉඩමක පොල් වගා කිරීම සඳහා පැල, ශ්‍රමය සහ අනෙකුත් පහසුකම් පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් 2015 වසරේදී ද මොහුට චෝදනා එල්ල වී තිබුණා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *