අමතක නොවන පාස්කු මතකයට වසර 7යි

ලොවම කම්පා කළ 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට (21) වසර හතක් ගත වී තිබෙනවා.

එම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහිපත් කිරීම සහ වින්දිතයන්ට ආශිර්වාද කිරීම වෙනුවෙන් දිවයින පුරා පිහිටි සියලුම දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් අද විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති බව ජාතික කතෝලික සභාව නිවේදනය කළා.

ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ, අද පෙරවරුවේ සෑම දෙව්මැදුරකම වින්දිතයන් වෙනුවෙන් විශේෂ සැමරුම් සිදුකෙරෙන බවයි.

මෙවර ප්‍රධාන සැමරුම් මෙහෙය කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේදී පැවැත්වෙන අතර, එය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ ඇන්ටන් රංජිත් සහයක රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයන්, විදෙස් තානාපතිවරුන් සහ වින්දිත පවුල්වල සාමාජිකයන් සහභාගී වනු ඇති.

ප්‍රහාරය සිදු වූ වේලාවන් කේන්ද්‍ර කරගනිමින් සෑම දේවස්ථානයකම, පෙරවරු 8.45ට මළවුන්ගේ සීනුව නාද කිරීම සහ මියගිය අය වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කිරීම, පෙරවරු 8.47ට ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන් දල්වා යාච්ඤා මෙහෙයන් ආරම්භ කිරීම සිදු කළා.

එමෙන්ම මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පෙරවරු 7.30 ට විශේෂ දිව්‍ය පූජාවක් පැවැත්වූ අතර, ඉන් අනතුරුව ස්මාරකය අසල පහන් දල්වා උපහාර දැක්වීමක් ද පැවැත්වෙනවා.

වින්දිතයන්ට යුක්තිය පතා සංවිධානය කර ඇති විශේෂ යැදුම් පාගමන අද පස්වරු 4.00 ට මීගමුව මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයෙන් ආරම්භ වනවා.

රදගුරු හිමිවරුන් සහ ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම පාගමන කටුවාපිටිය දේවස්ථාන පරිශ්‍රයෙන් අවසන් වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම කොච්චිකඩේ දේවස්ථානයේ පැවැත්වෙන ප්‍රධාන සැමරුම හේතුවෙන් අද උදෑසන 7.00 සිට එම ප්‍රදේශය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය සඳහන් කළා.

ඒ අනුව දේව මෙහෙය අවසන් වන තෙක් දේවස්ථානය අවට මාර්ගවල ගමනාගමනය අවස්ථානුකූලව සීමා කෙරෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *