ජනපති සමඟ සාකච්ඡාවට පෙර නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

අද (12) නිවේදනයක් නිකුත් කරමිනුයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, 2026 අගෝස්තු 7 වැනිදා රජය විසින් ගැසට් පත්‍රයේ පළ කරන ලද අදාළ පනත් කෙටුම්පත මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීමට යෝජනා කර ඇති බවයි.

රජය විසින් මෙම සංශෝධනය හඳුන්වා දී ඇත්තේ නඩු විභාග කඩිනම් කිරීම සහ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කිරීමේ අරමුණින් බව ප්‍රකාශ කළද, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ එම ප්‍රකාශිත අරමුණු අතර සම්බන්ධතාවය පැහැදිලි නොවන බව නීතිඥ සංගමය පවසනවා.

මෙම සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු බලපෑමක් ඇති කරන බව පවසමින් නීති ක්ෂේත්‍රයේ පාර්ශ්ව රැසක් මීට විරෝධය පළ කර ඇති බවද එම සංගමය සඳහන් කරනවා.

ආගමික නායකයන්, සිවිල් සමාජ සංවිධාන මෙන්ම විදේශීය ප්‍රමුඛ නීතිඥ සහ විනිසුරු සංගම්ද මෙම විරෝධතාවට එක්ව ඇති බව නිවේදනයේ දැක්වෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරන්නේ, යෝජිත සංශෝධනය ඉදිරියට ගෙන යන්නේ නම් එය නීත්‍යානුකූලව සම්මත කළ හැක්කේ ජනමත විචාරණයක අනුමැතිය ලබා ගැනීමෙන් පමණක් බවයි.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි ව්‍යවස්ථාව මගින් උසස් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස නියම කර ඇති අතර, එය “අධිකරණයේ ස්වාධීනත්වය” යන ශීර්ෂය යටතේ ව්‍යවස්ථාගත කර ඇති බවද නීතිඥ සංගමය පෙන්වා දෙනවා.

එම ව්‍යවස්ථාගත කිරීම මගින් එයට සිදු කරන ඕනෑම සංශෝධනයක් අධිකරණයේ ස්වාධීනත්වයට සෘජුවම බලපාන බව පැහැදිලි වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

2022 වසරේ SC SD 64–71/2022 නඩු විශේෂ තීරණයද උපුටා දක්වමින් නීතිඥ සංගමය පවසන්නේ, දැනට සේවයේ නිරත විනිසුරුවරුන්ට සෘජුව හෝ වක්‍රව බලපාන පරිදි විශ්‍රාම යන වයස හෝ ධුර කාලය සම්බන්ධයෙන් සිදුකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අධිකරණ ස්වාධීනත්වයට බලපාන අතර ජනමත විචාරණයක් අවශ්‍ය වන බව එම තීරණයෙන් පෙන්වා දී ඇති බවයි.

තවද, යෝජිත සංශෝධනය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළහොත් එහි ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කිරීමට ඕනෑම පුරවැසියකුට අයිතිය ඇති බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරනවා.

එවැනි තත්ත්වයක් තුළ විනිසුරුවරුන්ට තමන්ගේම ධුර කාලය දීර්ඝ කිරීමේ පසුබිමක එම සංශෝධනයේ නීත්‍යානුකූලභාවය තීරණය කිරීමට සිදුවීම අධිකරණය කෙරෙහි මහජන විශ්වාසයට බරපතල බලපෑමක් ඇති කළ හැකි බවද එම සංගමය පෙන්වා දෙනවා.

රජය මෙම විරෝධතා නොතකා සංශෝධනය ඉදිරියට ගෙන යාමට තීරණය කරන්නේ නම්, පනත් කෙටුම්පත ජනමත විචාරණයකදී ජනතාව විසින් තීරණය කිරීම සඳහා සෘජුවම ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම මෙම සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ශ්වකරුවන් සමග ප්‍රමාණවත් උපදේශන ක්‍රියාවලියක් සිදු නොවීම පිළිබඳවද නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

අර්ථවත් උපදේශන ක්‍රියාවලියකින් තොරව යෝජනාව අසාමාන්‍ය ලෙස කඩිනමින් ඉදිරියට ගෙන යාම මහජන විශ්වාසය හීන කිරීමට මෙන්ම අනාගත රජයන් විසින් අධිකරණයේ ක්‍රියාකාරීත්වය සහ ස්වාධීනත්වය තම අභිමතය පරිදි හැසිරවීමට උත්සාහ කළ හැකි භයානක පූර්වාදර්ශයක් ඇති කිරීමටද ඉඩ ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පවසනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *