“මේ අවුරුදු කාලේ කොහා කෑ ගහන්නේ ‘ගල් අඟුරු කුමාර… ගල් අඟුරු කුමාර…’ කියලා..”

“සුබ නැකතට රට අනුරට” යැයි පවසමින් මහත් බලාපොරොත්තු සහිතව වත්මන් ආණ්ඩුව පත්කර ගත් ජනතාව අද වන විට කබළෙන් ළිපට වැටී, සිය කනකර බඩු පවා උකස් කර අතිශය දුෂ්කර ලෙස අලුත් අවුරුදු සැමරීමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, සාමාන්‍ය ජනතාවට අවුරුදු අහිමි වී තිබුණ ද ගල් අඟුරු වංචාවෙන් මඩිය තරකර ගත් අමාත්‍යවරුන්ට පමණක් මෙවර අවුරුදු සුබ වී ඇති බවයි.

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයන් ඉලක්ක කරමින් විවේචන එල්ල කළ මන්ත්‍රීවරයා, ජනතාව දැඩි ආර්ථික පීඩනයක සිටියදී පාලකයන් සුබ නැකතට අවුරුදු කෑමට සූදානම් වන බව සඳහන් කළේය.

“මේ රටේ මිනිස්සු අද ඉන්නේ කන්න බොන්න විදිහක් නැතුව. හැබැයි ගල් අඟුරු වංචාවෙන් කෝටි ගණන් හම්බ කරගත්ත ඇමතිවරුන්ට නම් අවුරුදු හරිම සුබයි. ඔවුන්ට කිසිම අඩුවක් නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.

අවුරුදු සමයේ ඇසෙන කොහාගේ නාදය පිළිබඳව ද උපහාසාත්මක අදහසක් දක්වමින් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළේය.

“ඉස්සර වගේ නෙවෙයි, මේ අවුරුද්දේ කොහා කෑ ගහන්නේ ‘ගල් අඟුරු කුමාර… ගල් අඟුරු කුමාර…’ කියලා. ඒ තරමටම මේ ගල් අඟුරු වංචාව අද රටේ හැමතැනම දෝංකාර දෙනවා.”

රට තුළ ඇති වී තිබෙන ඉන්ධන සහ විදුලිබල අර්බුදය මෙන්ම, බාල ගල් අඟුරු ගනුදෙනුව හරහා සිදුවූ බව කියන දූෂණ ක්‍රියා හේතුවෙන් ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය මුළුමනින්ම පළුදු වී ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. දූෂණය තුරන් කරන බව පවසමින් බලයට පැමිණි පිරිසම ඉතිහාසයේ දැවැන්තම වංචාවලට සම්බන්ධ වීම ජනතාවට කළ ලොකුම ද්‍රෝහිකම බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *