අකිලගේ ජීවිතය අනතුරේ ?

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් එම පක්ෂය බන්ධනාගාර බලධාරීන් වෙත ලිපියක් යොමු කර තිබේ.

වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ සඳහන් කර ඇත්තේ අගෝස්තු 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරයාට, පසුගියදා බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ජීවිත තර්ජනයක් පවතින බවයි.

හිටපු අමාත්‍යවරයා බන්ධනාගාරය තුළ පසුවන කාල සීමාව තුළ ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම බන්ධනාගාර බලධාරීන්ගේ වගකීමක් බවද ඇය පෙන්වා දී ඇත.

මේ අතර, අදාළ කරුණ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පක්ෂ සභාපති වජිර අබේවර්ධනට බන්ධනාගාර නිලධාරීන් හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙසද එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කර තිබේ.

පෙරේදා (06) රාත්‍රියේ මැගසින් බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාවෙන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ එම සිද්ධියෙන් අනතුරුවය.

ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශකවරයකු ලෙස කටයුතු කළ සමයේ රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළ බවට වන දූෂණ චෝදනා මත හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *