අනුර පරදිනවා කියපු පිල්ලෙයාන්ගේ මල්ලි එක්ක CIDය ගැටිලා

රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් මහතා සහ පොලිස් නිලධාරීන් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් පිළිබඳව ඔහුගේ නීතිඥවරයා ලෙස පෙනී සිටින උදය ගම්මන්පිල මහතා ප්‍රකාශයක් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, පසුගිය සති දෙකකට පමණ පෙර පිල්ලෙයාන් මහතාගේ සහෝදරයා ඔහුව බැලීමට පැමිණි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවී ඇති බවයි.

පොලිස් අධීක්ෂණය යටතේ සිදු වූ එම හමුවේදී පිල්ලෙයාන්ගේ සහෝදරයා විසින්, “දැන් අනුර (ජනාධිපතිවරයා) ඉවරයි, ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව කුණුවෙන්න පරදිනවා” යනුවෙන් ප්‍රකාශ කර තිබෙන බව උදය ගම්මන්පිළ මහතා පැවසුවා.

ඔහු සඳහන් කළේ, එහිදී මැදිහත් වූ පොලිස් නිලධාරියා, “ඔතන දේශපාලනය කතා කරන්න දෙන්න බැහැ, ආණ්ඩුව ගැන කතා කරන්න දෙන්න බැහැ” යනුවෙන් පවසමින් ඊට විරෝධය පළ කර ඇති අතර, ඒ සමඟ දෙපාර්ශ්වය අතර වචන හුවමාරුවක් ඇති වී තිබෙන  බවයි.

කෙසේවෙතත් වත්මන් පොලිසිය ශ්‍රී ලංකා පොලීසිය නොව මාලිමා පොලීසියක් ලෙස හැසිරෙන බවට මෙම සිදුවීම විවේචනය කරමින් උදය ගම්මන්පිල මහතා කියා සිටියා.

ඒ අනුව රඳවා සිටින පුද්ගලයකුට තම පවුලේ අය සමඟ රටේ දේශපාලනය ගැන කතා කිරීමට නීතියෙන් කිසිදු බාධාවක් නොමැති බවත්, පොලිස් නිලධාරියාගේ මැදිහත්වීම සම්පූර්ණයෙන්ම වැරදි බවත් ඔහු පෙන්වාදෙනවා.

මේ සම්බන්ධයෙන් අධිකරණයට පැමිණිලි කිරීමට අවශ්‍යදැයි තමන් පිල්ලෙයාන් මහතාගෙන් විමසූ බවත්, එවැනි සිදුවීමක් වූ බවට ඔහු තහවුරු කළ නමුත් මෙම සිදුවීමට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට  පිල්ලෙයාන්ගේ තීරණයක් නොමැති බවට ගම්මන්පිළ මහතා සඳහන් කළා.

එහිදී පිල්ලෙයාන් විසින්, “මම මාස 10ක් මේ ඇතුළේ හිටියා. බැරිම වුණොත් තව මාස දෙක තුනයි ඉන්න වෙන්නේ. ඒ ටිකේ පොලිස් නිලධාරීන් එක්ක තියෙන සුහදතාව නැති කරගන්න ඕනෑ නැහැ. අපි ඒක අමතක කරලා දාමු.” යනුවෙන් උදය ගම්මන්පිළ මහතාට පවසා තිබෙනවා.

තමන් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ සිය සේවාලාභියා සමඟ එම කරුණු සාකච්ඡා කිරීමට බව උදය ගම්මන්පිල මහතා එහිදී  වැඩිදුරටත් කියා සිටියා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *