අරවින්ද ද සිල්වාගේ මෙහෙකරු ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට අධිකරණය හමුවේ ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඊයේ (12) නියෝග කර තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ මෙහෙකරු ලෙස සේවය කරන බව කියන ගනේෂ් සහ තිස්ස නමැති පුද්ගලයන් දෙදෙනෙකි.

2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කපිල චන්ද්‍රසේන මහතාට, පසුගිය 05 වැනිදා අධිකරණය මගින් රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කර තිබුණි. පොලිසිය අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ එම ඇප කොන්දේසි සපුරාලීම සඳහා රුපියල් 15,000 බැගින් වූ මුදලකට මෙම ව්‍යාජ ඇපකරුවන් හඳුන්වා දී ඇති බවයි.

කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණයේදී කරුණු දක්වමින් පොලිසිය පවසා ඇත්තේ, මෙම ව්‍යාජ ඇපකාර ජාවාරම පිටුපස බන්ධනාගාර නිලධාරියෙකුගේ ද සම්බන්ධතාවයක් පවතින බවයි. එම බන්ධනාගාර නිලධාරියා මෙම සිද්ධියට අදාළ සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද පොලිසිය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

අරවින්ද ද සිල්වා මහතාගේ මෙහෙකරු ලෙස හඳුන්වා දුන් සැකකරු මුහුණ ආවරණය සහිතව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔහු අද දින හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මේ අතර, තිස්ස නමැති සැකකරු වෙනුවෙන් නීතිඥවරයෙකු අධිකරණයට පෙනී නොසිටි නමුත්, සිද්ධිය සම්බන්ධයෙන් තමා විසින්ම ස්වේච්ඡාවෙන් පාපොච්චාරණයක් කිරීමට සූදානම් බව ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. ඒ අනුව, මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ පස්වරුවේ සිය නිල මැදිරිය තුළදී එම සැකකරුගේ පාපොච්චාරණය සටහන් කර ගෙන තිබේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *