වත්මන් රජයට සම්බන්ධ ප්‍රබලයින්ට එරෙහිව ලැබී ඇති දූෂණ පැමිණිලි සම්බන්ධයෙන් ම්ලෑලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා කරමින්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය කොමිසමේ සභාපති විනිසුරු ඩබ්.එම්.එන්.පී. ඉද්දවෙලගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, ජී. එල්. පීරිස් ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ අත්සන් සහිතවයි.
නීතිය සෑම පුද්ගලයෙකුටම තාරාතිරම නොබලා එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කරමින්, ඒකාබද්ධ විපක්ෂය විසින් යොමු කරන ලද එම ලිපිය මඟින් ප්‍රධාන පෙළේ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් පිළිබඳව කොමිසමේ අවධානය යොමු කර තිබෙනවා.
ලිපිය මඟින් පෙන්වා දී ඇති ප්‍රධාන කරුණු සහ චෝදනා වන්නේ,
1. කපිල චන්ද්‍රසේනගේ අභිරහස් මරණය සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මැදිහත්වීම
දැඩි මානසික පීඩනය: ඇප මත මුදාහැර සිටි කපිල චන්ද්‍රසේන නැමැත්තාගේ ඇප නියෝගය අවලංගු කිරීමට අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් කිරීම නිසා ඔහු දැඩි මානසික පීඩනයකට ලක් වූ බවත්, ඉන් අනතුරුව සිදු වූ ඔහුගේ අභිරහස් මරණයට පෙර ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය මඟින් තමන්ට එල්ල වූ තර්ජන පිළිබඳව අනාවරණය කර ඇති බවත් විපක්ෂය පවසනවා.
බලතල ඉක්මවා යෑම: කටඋත්තර ලබාදීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමට විමර්ශන නිලධාරීන්ට මිස අධ්‍යක්ෂ ජනරාල්වරයාට ප්‍රතිපාදන නොමැති පසුබිමක, ඔහු සිය වපසරියෙන් බැහැරව අත්තනෝමතික ලෙස කටයුතු කර ඇත්දැයි සොයා බැලීම කොමිසමේ වගකීමක් බව ලිපියේ දක්වා තිබෙනවා.
2. ප්‍රභූන්ට එරෙහි පැමිණිලි යට ගැසීමේ චෝදනා
කතානායක ජගත් වික්‍රමරත්න: ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයාට එරෙහිව සිදු කර ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ පැමිණිල්ලට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර, එහි වත්මන් ප්‍රගතිය දැනගැනීමේ අයිතියක් ජනතාවට ඇති බව විපක්ෂය පෙන්වා දෙනවා.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය ජයකොඩි: අමාත්‍යවරයා රාජ්‍ය සේවකයෙකු ලෙස සිටි සමයේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳ නඩුවේදී කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බවට චෝදනා කරනවා.
විපක්ෂ ක්‍රියාකාරිකයින් වහාම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට කටයුතු කරන කොමිසම, අමාත්‍යවරයා සම්බන්ධයෙන් එවැනි පියවරක් නොගැනීම පිළිබඳව ජනතාව තුළ සැකයක් පවතින බව ලිපියේ සඳහන්.
බාල ගල්අඟුරු වංචාව: බාල ගල්අඟුරු ගෙන්වීමට අදාළව සිදුවූ දූෂණ හා අක්‍රමිකතා රාශියක් පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කර ඇතත්, ඒවා පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදුවන බවක් දක්නට නොලැබෙන බව විපක්ෂය පවසනවා.
වත්මන් රජයට සම්බන්ධ පුද්ගලයින් රැසකට එරෙහිව විවිධ පාර්ශවයන් විසින් කරන ලද, නමුත් මෙතෙක් කොමිසම විසින් විමර්ශනය කර නොමැති ලිඛිත පැමිණිලි ඇතුළත් විශේෂ ලේඛනයක් ද ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම ලිපියට අමුණා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වාචිකව කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලබා දීම පිළිබඳව කොමිසමේ සභාපතිවරයාට ස්තූතිය පළ කරන ඒකාබද්ධ විපක්ෂය, වගකිව යුතු විපක්ෂයක් ලෙස සිය සමාජ වගකීම ඉටු කිරීම සඳහා තමන් නියෝජනය කරන කණ්ඩායමට කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන ලෙස ද ගරු සභාපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.



