ඉන්දු – පාකිස්ථාන තරගයට පාකිස්ථාන රජයේ අනුමැතිය දෙයි

2026 T-20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ලබන පෙබරවාරි 15 වනදා පැවැත්වීමට නියමිත ඉන්දියාවට එරෙහි තීරණාත්මක තරගය සඳහා සහභාගී වන ලෙස පකිස්ථාන රජය එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමට නිල වශයෙන්  අවසර ලබා දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පාකිස්ථාන රජය සිය නිල ‘X’ ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, නියමිත කාලසටහනට අනුව පෙබරවාරි 15 වනදා පිටියට පිවිස ඉන්දියාව සමඟ තරග කරන ලෙසයි.

එමෙන්ම, පකිස්ථාන – ඉන්දියා තරගය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතර විශේෂ දුරකථන සංවාදයක් ඊයේ (09) සිදුකර තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරයා පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ, දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සලකා, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දියාවට එරෙහි තරගයට පකිස්ථාන කණ්ඩායම සහභාගී කරවන ලෙසයි.

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් පීඩා විඳි සමයේ අනෙකුත් රටවල් මෙරට සංචාරය කිරීමට මැලි වූ අවස්ථාවලදී පවා, පකිස්ථානය සියලු බාධක නොතකා ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රී ලංකාවට එවා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමට ලබාදුන් සහය ජනාධිපතිවරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කර ඇති අතර, දෙරට අතර පවතින සබඳතාවය අනෙකුත් සියලු කරුණුවලට වඩා ඉහළින් පවතින බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සුහදශීලී ඉල්ලීම සහ අදහස් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ බවත්, පකිස්ථානය අසීරු අවස්ථාවලට මුහුණ දුන් සෑම විටකම ශ්‍රී ලංකාව ද ලබාදුන් සහයෝගය ඔහු අගය කළ බවත් එරට මාධ්‍ය වාර්තා කරනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *