නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඉදිරි විමර්ශන වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් ඇත.
ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස නේපාලයේ සිට රැගෙන ආ ගුවන් යානය ඊයේ (15) රාත්‍රී 6.55ට පමණ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලට පැමිණියේය.
ශ්‍රී ලංකා පොලිසිය සිදුකළ මෙම විශේෂ මෙහෙයුමෙන් ඉෂාරා සෙව්න්දි ඇතුළු සැකකරුවන් හය දෙනකු මෙරටට රැගෙන විත් තිබුණි.
ඒ අනුව ඉෂාරා සෙව්වන්දි සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන අතර සෙසු සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඇතුළු අපරාධ කොට්ඨාසයන් වෙත භාරදීමට නියමිතව තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළුව, මෙරට පාතාල කණ්ඩායම් හා සම්බන්ධ පුද්ගලයන් හයදෙනෙක් නේපාලයේදි අත්අඩංගුවට ගනු ලැබීය.
වීරසිංහ පිනිපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි, ජීවදාසන් කනකරාසා, තක්ෂි නන්දකුමාර, දිනේෂ් ශ්‍යාමන්ත ද සිල්වා කළුදාර, කෙනඩි බස්තියම්පිල්ලෙයි හෙවත් J.K. බායි සහ වික්‍රම ආරච්චිගේ දිනේෂ් නිශාන්ත කුමාර මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
ගනේමුල්ල සංජීව ඝාතනය කර තිබුණේ කොළඹ අලුත්කඩේ අංක 6 උසාවිය තුළදී ඉකුත් පසුගිය පෙබරවාරි 20 වැනිදාය.



