එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට තමන් බාධාවක් නම් අවශ්‍ය ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තමන් සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට දැනුම් දී ඇත.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡාවලදී තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඊට එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු තමන් ඉවත් වීමට සූදානම් බව වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(17) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති අතර පක්ෂ දෙක ඒකාබද්ධ වීමේ සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාවය වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දී ඇත.
දෙපාර්ශවය අතර පැවැත්වෙන සාකච්ඡා වල ප්‍රගතිය සම්බන්ධව මේ වනතෙක් තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් වී නැතිි බව ප්‍රකාශ කරන රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් සාකච්ඡා ඇදගෙන නොගොස් කඩිනමින් අවසන් කළ යුතු බව පෙන්වා දී තිබේ.
විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධව ආණ්ඩුවට එරෙහිව පුළුල් ව්‍යාපාරයක් ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින් එම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට මත්තෙන් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණිය යුතුව ඇති බව මෙහිදී වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.
පක්ෂ දෙකේ එකමුතුව සඳහා ඕනෑම කැපකිරීමක් කිරීමට තමන් සූදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී තිබෙන අතර එහිදී තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් කර සජිත් ප්‍රේමදාස මහතා හෝ වෙනත් අයෙක් ඒ සඳහා පත්කර ගැනීමට යෝජනා කරන්නේ නම් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණය පරිදි ඊට ඉඩ තමන් සූදානම් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.



