“එක කෝල් එකෙන් මට ලක්ෂ 500 ක් හොයාගන්න පුළුවන්..”

තමා සතු ප්‍රබල සමාජ ප්‍රාග්ධනය හරහා ඕනෑම මොහොතක මුදල් සපයා ගැනීමේ හැකියාව පවතින බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

ලාල්කාන්ත අමාත්‍යවරයාගේ නව නිවස සහ එහි පැවැත්වූ දානමය පින්කම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් අන්තර්ජාල නාලිකාවක පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම සිය නිවසේ පැවැති දානමය පින්කමක් මුල් කරගනිමින්, අමාත්‍යවරයා කෝටි ගණනක් වටිනා නිවසක් ඉදිකළේ කෙසේදැයි පැන නැගී ඇති දැඩි කතාබහටද අමාත්‍යවරයා එහිදී පිළිතුරු ලබාදුන්නා.

ලාල්කාන්ත අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, නිවසට තමා පදිංචියට ගියේ 2024 වසරේ අග භාගයේදී බවත් පර්චස් 7ක සහ 6ක බිම් කොටස් දෙකක් එක්කර දීර්ඝ කාලයක් තිස්සේ මෙම නිවස ඉදිකළ එකක් බවයි.

පසුගියදා එහි පැවැත්වුණේ සිය මියගිය දෙමාපියන් වෙනුවෙන් සංවිධානය කළ දානමය පින්කමක් මිස “ගෙවල් වැදීමේ” උත්සවයක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම අවශ්‍ය වුවහොත්, එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ පහ බැගින් පුද්ගලයන් සිය දෙනෙකුගෙන් සතියක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් ලක්ෂ 500ක් උපයා ගැනීමේ හැකියාව තමන් සතුව පවතින බව පැවසූ අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, ඒ සඳහා තමන්ට කළ යුතුව ඇත්තේ එක් දුරකථන ඇමතුමක් ලබා දීම පමනක් බවත් තමන් එ හා සමාන විශාල සමාජ ප්‍රාග්ධනයක් අත්පත් කරගෙන සිටින බවයි.

තමා දීර්ඝ කාලයක් දේශපාලනයේ නිරත වීම නිසා ගොඩනැගුණු මිත්‍රත්වයන් සහ සබඳතා හරහා එවැනි සහයෝගයක් ලැබෙන බවත්, සාමාන්‍ය මිනිසුන්ට මෙම සමාජ ප්‍රාග්ධනය ගණන් හදා තේරුම් ගැනීමට අපහසු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අමාත්‍යවරයා පවසන්නේ, තමා කිසිදු අවස්ථාවක රජයේ බදු මුදල් හෝ පක්ෂයේ අරමුදල් අවභාවිත කර නොමැති බවයි.

පක්ෂයට ලැබෙන මුදල් පිළිබඳ නිසි වාර්තා පවතින බවත්, තමාට එරෙහිව මෙතෙක් කිසිදු මූල්‍ය වංචා චෝදනාවක් එල්ල වී නොමැති බවත් ඔහු පෙන්වාදෙනවා.

ඒ අනුව දේශපාලන ප්‍රතිවාදීන් තමා පරාජය කිරීම සඳහා මෙවැනි මාතෘකා නිර්මාණය කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ අතර අතීතයේ සිය බිරිඳගේ රැකියාවෙන් පමණක් ජීවත් වූ බවට කළ ප්‍රකාශ සත්‍ය බවත්, කාලයත් සමඟ මිනිසුන්ගේ තත්ත්වයන් වෙනස් වන බවත් ලාල්කාන්ත අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම සිය දියණිය විදේශගතව ඉගෙන ගන්නා බවට පැතිර ගිය කටකතා අසත්‍ය බවත්, ඇය අධ්‍යාපනය ලැබුවේ ලංකාවේ බවත් පවසමින් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *