පාර්ලිමේන්තුවේ වැඩතහනමට ලක්ව සිටින නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් කතානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගොනු කරන ලද බරපතල දූෂණ චෝදනා 8ක් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
පසුගිය බ්‍රහස්පතින්දා රැස්වූ කොමිෂන් සභාව, මෙම පැමිණිලි විමර්ශනය කරන ලෙස එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළ අතර, ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු ලේඛන කැඳවීමට ද උපදෙස් දී තිබෙන බව එම කොමිෂන් සභාව තීරණය කළා.
චමින්ද කුලරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලෙහි නීතිවිරෝධී ලෙස ද්විත්ව ඉන්ධන දීමනා ලබා ගැනීම, නිල වාහන පෞද්ගලික හෝ අවිධිමත් කටයුතු සඳහා යොදා ගැනීම, පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකයේ උපකරණ අවභාවිත කිරීම, නිසි ගාස්තු ගෙවීමකින් තොරව පාර්ලිමේන්තුවෙන් ආහාර ලබා ගැනීම, නීතිවිරෝධී ලෙස විමර්ශන නිලධාරියෙකු පත් කර, රජයේ අරමුදල්වලින් ඔහුට වැටුප් හා පහසුකම් සැපයීම, නිල නිවාස දෙකක් අවභාවිත කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) යටතේ ඉදිරිපත් වූ ඉල්ලීම්වලට බාධා කිරීම සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පරිපාලන කටයුතුවලට නීතිවිරෝධී ලෙස මැදිහත් වීම යන චෝදනා 8 සඳහන්.
එමෙන්ම කථානායකවරයාට එරෙහි විමර්ශනයට අමතරව, චමින්ද කුලරත්න මහතා නියෝජ්‍ය මහලේකම් ධුරයට පත් කිරීමේ ක්‍රියාපටිපාටිය දෝෂ සහිත බව පවසමින් ආර්. කන්නන් නැමැත්තෙකු ඉදිරිපත් කළ පැමිණිල්ල ද විභාග කිරීමට කොමිසම තීරණය කර තිබෙනවා.
මීට පෙර පවත්වන ලද අභ්‍යන්තර පරීක්ෂණයකින් ද ඔහුගේ පත්වීම නුසුදුසු බව නිර්දේශ වී තිබූ අතර, ඔහුගේ වැඩතහනම් කිරීමට පදනම් වූයේ ද එම කරුණුයි.
මේ අතර, චමින්ද කුලරත්න මහතාගේ පැමිණිල්ලේ අඩංගු කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් වෙනම වාර්තාවක් කැඳවීමට කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා පියවර ගෙන තිබෙනවා.
මෙය අල්ලස් කොමිසමේ ස්වාධීන විමර්ශනයට බාධාවක් හෝ බලපෑමක් විය හැකි බවට විපක්ෂ මන්ත්‍රීවරුන් සිය දැඩි කනස්සල්ල පළ කර තිබුණා. .
අල්ලස් කොමිසම සඳහන් කරන්නේ අදාළ ලේඛන විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි දිනවලදී කථානායකවරයාගෙන් සහ කුලරත්න මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි.



