කතානායක හුටපටේ ජාත්‍යත්තරයෙත් දිගහැරේ..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ පාර්ලිමේන්තු කටයුතුවල අපක්ෂපාතීත්වය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මැදිහත්වීම ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ලිපියක් යොමුකර තිබෙනවා.

එම ලිපියේ සඳහන් කර ඇත්තේ, පාර්ලිමේන්තු කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ නිල කටයුතුවලට අදාළව CIABOC විමර්ශනයක් සිදුවන බවට වාර්තා පවතින පසුබිමක, ඔහු තවදුරටත් ධුරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 10 වැනිදා වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළ බවයි.

කෙසේ වෙතත්, එම වරප්‍රසාද ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී මතු කිරීමට අවසර ඉල්ලා සිටි අවස්ථාවේදී කථානායකවරයා ඊට අවසර ලබා නොදී අදාළ කරුණ තමන් විසින් අධ්‍යයනය කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කළ බව එම ලිපියේ සඳහන්.

මෙම තත්ත්වය හේතුවෙන් අදාළ වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් තීරණය කිරීමේදී අපක්ෂපාතීත්වය පිළිබඳ මූලික ගැටලුවක් මතුවන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

අදාළ වරප්‍රසාද ප්‍රශ්නය ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමුකර සලකා බලන ලෙස ඉල්ලීමක් කර ඇති බවද සඳහන්.

එමෙන්ම, වෙනත් කරුණක් සම්බන්ධයෙන් පැවති විවාදයකදී වරප්‍රසාද ප්‍රශ්නයේ කරුණු මතු කිරීමට උත්සාහ කළ අවස්ථාවේදීද කථානායකවරයා තම කතාව නතර කළ බව ලිපියේ දැක්වෙන අතර පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත යටතේ පාර්ලිමේන්තුව තුළ අදහස් ප්‍රකාශ කිරීම සහ විවාද කිරීමේ නිදහස ආරක්ෂා කර ඇති බවද එහි පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව, මෙම කරුණ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් සලකා බලන ලෙසත්, අදාළ වරප්‍රසාද ප්‍රශ්නය නිසි ක්‍රමවේදය ඔස්සේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමුකරන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දිරිමත් කරන ලෙසත් පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයෙන් ඉල්ලා තිබෙනවා.

අදාළ ලිපි පහතින්,

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *