“කරන්ට් කපන්නෙ නෑ බිඳවැටුණා..”

ඊයේ දිනයේ දී සිදු වූයේ විදුලිය කපා හැරීමක් නොව විදුලි බිඳවැටීමක් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අද (07) පාර්ලිමේන්තුවේ දී සඳහන් කරනු ලැබුවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් “ජනතාව වෙත නොදන්වා විදුලිය කප්පාදු කරන්නේ ඇයි ?” යනුවෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි‍.

එහි දී කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශයන් ආශ්‍රිතව ඊයේ දිනයේ දී පැය දෙකක විදුලි කප්පාදුවක් ද ඇතැම් ප්‍රදේශයන්හි පැය භාගයක විදුලි කප්පාදුවක් ද සිදු වූ බව නිරීක්ෂණය වූ බවත්, ඒ සම්බන්ධයෙන්යු කිසිඳු පූර්ව දැනුම් දීමක් සිදු නොකර තිබූ බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා කොළඹ 07 විපක්ෂ නායක කාර්යාලය අසල ඊයේ එලෙස පැය භාගයක විදුලි කප්පාදුවක් නොදන්වා සිදු කළ බව ඊට උදාහරණ ලෙස දක්වා සිටියා.

මෙම අවස්ථාවේ දී බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කර සිටියේ, විදුලි පද්ධතියේ යම් යම් බිඳවැටීම් නිරන්තරයෙන් සිදු වන බවත්, එම බිඳවැටීම් යථා තත්ත්වයට පත් කර ශක්තිමත් විදුලි සැපයුමක් ලබා දීම සඳහා වන ව්‍යාපෘති රජය විසින් ක්‍රියාත්මක කරන බවත්, ඒ අනුව යම් යම් අවස්ථාවල දී පද්ධතියේ සිදු වන බිඳවැටීම් නැවත ක්ෂණිකව යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවත් ය.

කෙසේ නමුත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙම විදුලි කප්පාදුවීම් නොරොච්චෝලේ බලගාරය සඳහා බාල ගල් අඟුරු ආනයන සිද්ධිය මඟින් සිදු වූ අකාර්යක්ෂමභාවය ජනතාව මත පැටවීමක් වන්නේ ද යන්න සැක සහිත බව සඳහන් කළ අතර, ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළේ විපක්ෂය ජනතාව නොමඟ යැවීමට එවැනි කරුණු පවසන බවත්, මෙය විදුලි පද්ධතියේ සිදු වූ බිඳවැටීමක් පමණක් වන බවත් ය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *