ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ උපායශීලී සංකීර්ණතා සහ විස්සයි20 තරගවල ශක්තිය සහ වේගය ඒකාබද්ධ කරන ඕවර 80ක දෙමුහුන් ආකෘතියක් වන ටෙස්ට් විස්සයි20 ක්‍රිකට් තරග රටාව ලබන නව වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි. මේ නව ආකෘතිය අනුව කණ්ඩායම් දෙක ඕවර 20 බැගින් වූ ඉනිම් දෙකක් ක්‍රීඩා කළ යුතු අතර, කණ්ඩායම් දෙකටම එක් දිනක් තුළ දෙවරක් පන්දුවට පහරදීමට ඉඩ සලසනු ඇත.
ටෙස්ට් සහ විස්සයි20 ක්‍රිකට් යන දෙකෙහිම නීති මේ නව ක්‍රමයට අදාළ වන අතර, නව ආකෘතියට අනුගත වීම සඳහා සුළු වෙනස්කම් කිහිපයක් ඇත. තරග ජයග්‍රහණයකින්, පරාජයකින් හෝ සම තත්ත්වයකින් අවසන් විය හැකි අතර, ලකුණු සමවන අවස්ථාවකදී සුපිරි ඕවරයක් ලබාදේ.
රතු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ ගැඹුර හා ක්‍රීඩාවේ ක්ෂණිකභාවය අනුව ඩිජිටල් පරම්පරාවේ නරඹන්නන් සහ ක්‍රීඩකයන් යන දෙපිරිසටම නිර්මාණය කර ඇති ටෙස්ට් විස්සයි20 තරග රටාව ක්‍රිකට් ක්‍රීඩාවේ ‘සිවුවැනි ආකෘතිය’ වේ. දැනට ටෙස්ට්, එක්දින හා විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව සාර්ථකව ක්‍රියාත්මක වනවා සේම මේ සිවුවැනි ආකෘතිය ද අති සාර්ථක වනු ඇතැයි විචාරක මතයවේ.
The One One Six Network ආයතනයේ සභාපති ක්‍රීඩා ව්‍යවසායක ගෞරව් බහිර්වානි මහතාගේ සංකල්පයත් වන මේ නව ආකෘතිය ඉදිරියට ගෙන යෑම සඳහා ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් ගෞරවනීය පුද්ගලයන් කිහිපදෙනකු එක්ව සිටිති. ටෙස්ට් විස්සයි20 උපදේශක මණ්ඩලයට බටහිර ඉන්දීය කොදෙව්හි ශ්‍රීමත් ක්ලයිව් ලොයිඩ්, දකුණු අප්‍රිකාවේ ඒබී ඩිවිලියර්ස්, ඔස්ට්‍රේලියාවේ මැතිව් හේඩන් සහ ඉන්දියාවේ හර්බජන් සිං වැනි හිටපු ක්‍රීඩකයන් ඇතුළත්ව සිටිති. ඔවුන් සිවුදෙනා ක්‍රීඩාවේ එක් එක් නිශ්චිත යුගවල බිහිවූ අති දක්ෂ ක්‍රීඩකයන් හතරදෙනෙක් වීම විශේෂත්වයකි.
ටෙස්ට් විස්සයි20 ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී මයිකල් ෆෝර්ඩම් මහතා කටයුතු කරන අතර, ඔහු ගෝලීය ක්‍රීඩා කළමනාකරණයේ පිළිගත් චරිතයක් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පද්ධති සංවර්ධනය කිරීම, නඩත්තු කිරීම සහ වාණිජකරණය කිරීම පිළිබඳ දශක ගණනාවක විශේෂඥයකු ලෙස සැලකේ.
“ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම යුගයක්ම පසුකර ගිය මට පැවසිය හැක්කේ ක්‍රීඩාව සැමවිටම අනුවර්තනය වී ඇති බවයි. නමුත් කිසි විටෙකත් මෙතරම් කල්පනාකාරී තරග රටාවක් හිතුවේ නෑ. ටෙස්ට් විස්සයි20 තරග ක්‍රීඩාව, කලාව සහ රිද්මය එක් කිරීමක්. නවීන ශක්තියෙන් එය ජීවමාන කරයි කියා මා හිතනවා” ශ්‍රීමත් ක්ලයිව් ලොයිඩ් මහතා පැවසීය.
ටෙස්ට් විස්සයි විස්ස යනු හුදෙක් ආකෘතියකට වඩා වැඩි යමක් බවත්, එය ලොව පුරා සිටින වයස අවුරුදු 13 සිට 19 දක්වා තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන්ට මූලික අවස්ථා ලබා දෙන ලෝක ව්‍යාප්ත තරුණ ව්‍යාපාරයක් බවත් සංවිධායක මණ්ඩලය සඳහන් කර සිටියි. ටෙස්ට් විස්සයි20 පළමු තරගාවලිය 2026 ජනවාරි මාසයේදී ආරම්භ වන අතර, ඉහළ පෙළේ ගෝලීය ෆ්‍රැන්චයිස් කණ්ඩායම් හයක් එක් කිරීමට අපේක්ෂා කෙරේ.



