2009 වසරේ සිට මේ දක්වා මෙරටට ගෙන්වන ලද ගල් අඟුරු නැව් 400කට අධික ප්‍රමාණයක ටෙන්ඩර් පටිපාටීන් සහ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
මෙම විමර්ශන කටයුතු සඳහා දැනට සේවයේ නියුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත් කර ඇති අතර, විමර්ශනවල පාරදෘශ්‍යභාවය වෙනුවෙන් අදාළ ප්‍රධාන කාර්යාලයට දැනටමත් සීල් තබා ඇති බව ද ඔහු සඳහන් කළා.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු අවධාරණය කළේ, මෙම පරීක්ෂණයේදී වත්මන් අමාත්‍ය කුමාර ජයකොඩි මහතා හෝ මීට පෙර සිටි ඕනෑම අමාත්‍යවරයෙකු වැරදි කර ඇති බවට ඔප්පු වුවහොත් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි.
“කුමාර ජයකොඩි සහෝදරයා වැරදි කරලා ඇත්නම් එයා ඇතුළට යයි, එහෙම නැත්නම් ඊට කලින් හිටපු ඇමතිවරු වැරදි කරලා ඇත්නම් ඒගොල්ලෝ ඇතුළට යයි”
එමෙන්ම විපක්ෂය විසින් එල්ල කරන චෝදනා හුදු දේශපාලන වාසි තකා ගෙන එන ලද සටන් පාඨ බවත්, චෝදනාවක් එල්ල වූ පමණින් ඕනෑම අයෙකුට ඉල්ලා අස්විය නොහැකි බවත් ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වාදෙනවා.
චෝදනා සම්බන්ධයෙන් පක්ෂය තුළින් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කරන අතර, බාහිරව හෝ අභ්‍යන්තරව යම් වරදක් සිදුව ඇති බව අධිකරණයේදී ඔප්පු වුවහොත් අනිවාර්යයෙන්ම ඔවුන් තනතුරුවලින් ඉවත් කරන බව ඔහු අවධාරණය කළා.
කුමාර ජයකොඩි මහතාට එරෙහිව පවතින නඩුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා, එය 2015 වසරේ ඔහු පොහොර සංස්ථාවේ සේවය කළ කාලයේ සිදුවූවක් බවත්, වසර 10ක් පුරා විවිධ ආණ්ඩු යටතේ විමර්ශනය නොවූ එම සිද්ධිය වත්මන් රජය යටතේ අපක්ෂපාතීව අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවත් එහිදී කියා සිටියා.
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සිරගත වූයේ ද අධිකරණ ක්‍රියාවලියකට අනුව බව පෙන්වා දුන් ඔහු, වත්මන් රජය ලබා දී ඇති නිදහස සහ විනිවිදභාවය එයින් මනාව පැහැදිලි වන බව පවසනවා.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කන්ටේනර් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා උදාහරණයට ගනිමින් ඔහු කියා සිටියේ, රේගුව අයත් වන්නේ කුමන අමාත්‍යාංශයටද යන්න පවා විපක්ෂය නිවැරදිව නොදන්නා බවයි.
එවකට විමල් වීරවංශ මහතා දැරූ අමාත්‍යාංශයට රේගුව අදාළ නොවන බවත්, එබැවින් එල්ල කරන සෑම චෝදනාවක්ම සත්‍ය නොවන බවත් ඔහු පවසනවා.
එමෙන්ම ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ, ඕනෑම අයෙකුට අධිකරණය හමුවට යා හැකි බවත්, රජය විසින් 2009 සිට සිදුකළ සියලුම ගල් අඟුරු ගනුදෙනු පරීක්ෂා කිරීමට තීරණය කළේ පද්ධතියේ පවතින දූෂණ මුලිනුපුටා දැමීමට බවයි.



