කොටි කොඩියට කැනඩා නගර සභාවකින් දිනයක්

කැනඩාවේ ඔන්ටාරියෝහි බ්‍රැම්ප්ටන් නගරයේ දී දෙමළ ඊළාම් ජාතික කොඩිය එසවීමේ දිනය ලෙස නොවැම්බර් 21 වැනි දා නම් කර තිබෙනවා.

එහි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් විසින් මේ අවස්ථාව එහි සිටින කොටි හිතවාදීන් සමඟ සමරා තිබුණා.

බ්‍රැම්ප්ටන්හි කෙන් විලන්ස් චතුරශ්‍රයේ දී මෙම දිනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊලාම් දෙමළ ජාතියේ සාමූහික අනන්‍යතාවයට සහ ජන සංහාරයට ඔවුන්ගේ අඛණ්ඩ ප්‍රතිරෝධයට ගෞරව කරමින්, බ්‍රැම්ප්ටන් නගරය නොවැම්බර් 21 වන දින දෙමළ ඊලාම් ජාතික කොඩි දිනය ලෙස පිළිගන්නා බවයි නගර සභාව නිවේදනය කළේ.

මෙම දිනය පිළිගැනීමට නගරවාසී දෙමළ පදිංචිකරුවන් සමඟ ඉදිරියේදී කටයුතු කරන බව ද නගර සභාව පවසනවා.

බ්‍රැම්ප්ටන් නගරයේ වාර්ෂික සැමරුම් දින සඳහන් කැලැන්ඩරයට ද මෙම දිනය නිල වශයෙන් එක්කර තිබුණා.

බ්‍රැම්ප්ටන් නගරය මීට පෙර ද මෙවැනිම ක්‍රියාවක් සිදුකර තිබුණා.

ඒ පසුගිය මැයි 11 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රැම්ප්ටන් හි දෙමළ ජන සංහාර ස්මාරකයක් පිහිටුවා විවෘත කිරීමයි.

කැනඩාවේ අධිකරණ අමාත්‍ය ගැරී ආනන්දසංගරී එම අවස්ථාවේදී පවසා තිබුණේ මෙම ස්මාරකය ඉදිකිරීම ඔවුන්ගේ සාමූහික ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරන බවයි.

මෑතකදී කැනඩා අධිකරණ අමාත්‍ය ධුරයට පත්වූ ගැරී ආනන්ද සංගරී යනු මෙරට සිටි දෙමළ දේශපාලකයකු වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසිංහම් ආනන්දසංගරීගේ පුත්‍රයායි.

ශ්‍රී ලංකාවේ ඉපිද කැනඩාවේ පුරවැසියකු ලෙස ජීවත්වන ගැරී ආනන්දසංගරී දරන වත්මන් මහජන ආරක්ෂක ඇමති ධුරය මේ වනවිට එරට සමාජය තුළ විවේචනයටත් අභියෝගටත් ලක්වෙමින් තිබෙනවා.

2009දී මෙරටදී පරාජයට පත්ව මේ වනවිට අක්‍රියව පවතින දෙමළ ඊළාම් විමුක්ති කොටි හෙවත් එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයට හිතවාදීව කටයුතු කිරීම හේතුකොටගෙන ගැරී ආනන්ද සංගරීගේ අමාත්‍ය ධුරය ප්‍රශ්න කිරීමට කැනඩා දේශපාලකයන්, කැනඩා ජනතාව පියවර ගෙන තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ කැනඩාව විසින් සිය දේශසීමා ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගැනීමෙන් පසු, එරට මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ගත් තීරණයක් සමඟයි.

ගැරී ආනන්දසංගරී විසින් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වෙත නිල නිවේදනයක් නිකුත් කරමින් පැවසූ කරුණකට පටහැනිව ගැරී කැනඩා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ද මතභේදයට තුඩුදෙමින් තිබුණා.

ග්ලෝබල් නිව්ස් නමැති ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය විසින් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් ගැරී ආනන්දසංගරීගේ කාර්යාලය දන්වා ඇත්තේ ඔහු “දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) හෝ ලෝක දෙමළ ව්‍යාපාරය (WTM) සම්බන්ධ ඕනෑම කාරණයකින්” ඉවත් වූ බවයි.

මෙම සංවිධාන, ත්‍රස්ත සංවිධාන 2ක් ලෙස නීතිගත කර තිබෙන්නක්. එක් සංවිධානයක් ශ්‍රී ලංකාවේ වසර 30ක විනාශකාරී යුද්ධයක් පවත්වාගෙන ගිය එල්ටීටීඊ සංවිධානය වන අතර අනෙක් සංවිධානය එම ත්‍රස්තයන් වෙත ආධාර අනුබල සැපයූ කැනඩාවේ පෙරමුණ බව එම මාධ්‍ය වාර්තා සඳහන් කළා.

2006 දී කැනඩාව එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවට ඇතුළත් කළේ, එහි “සිවිල් මධ්‍යස්ථානවලට එරෙහි ත්‍රස්ත ප්‍රහාර සහ දේශපාලන ඝාතන”, 1991 දී හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතනය වැනි දේ උපුටා දක්වමින්.

අදාළ මාධ්‍ය වාර්තා පිළිබඳවත් ගැරීගේ තීරණය පිළිබඳවත් කැනඩා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න කිරීමකට ලක්වුණා. එහිදී ගැරී පවසා තිබුණේ සිය ඇමති ධුරයේ විෂය පථය තුළින් ජාතික ආරක්ෂාව පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ‘දෙමළ ප්‍රජාවට’ සම්බන්ධ කිසිදු ආකාරයක කරුණකට තමා සම්බන්ධ නොවන බවයි.

මෙම මතවාදය දරමින් ගැරීගේ අමාත්‍ය ධුරය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තවමත් කැනඩාව තුළ මතභේද මතුවනවා. එසේ තිබියදීත් ඒ සෑම අවස්ථාවකදීම කැනඩා අගමැතිවරයා ගැරීට පක්ෂව ප්‍රකාශ කිරීම ද කැපී පෙනුණා.

කෙසේවෙතත් මෑත කාලීනව ඉදි කරන ලද අදාළ ස්මාරකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් විරෝධය ද පළ කර තිබුණා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *