කොළඹ මහ නගර සභාව තුළ පරාජය කර තිබුණේ ජාතික ජනබලවේගයේ අයවැය නොව ඔබගේ හෘද සාක්ෂියේ අයවැය යැයි ජාතික ජනබලවේගය පක්ෂයේ නගරාධිපතිනි ව්රායි කැලී බල්තසාර් මහත්මිය පෙරේදා (22දා) පැවසුවාය.
ඇය එම අදහස් පළ කළේ ජාතික ජනබලවේගය පක්ෂයේ නගරාධිපතිනිය ලෙස කොළඹ මහ නගර සභාව සඳහා 2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ අයවැය වාර්තාව සභාව තුළදී පරාජයට පත්වීමෙන් අනතුරුවය.
නගරාධිපතිනිය විසින් පෙරේදා (22දා) පෙරවරු 9.00ට පමණ අයවැය කතාව සභාවට ඉදිරිපත් කරනු ලැබූ අතර ඡන්ද විමසීම රාත්රි 10.00ට පමණ සිදුකෙරිණි. එහිදී මහ නගර සභාව නියෝජනය කරන නගරාධිපතිනිය ඇතුළු මන්ත්රීවරු 117 දෙනාම සභාව තුළ සිටියහ. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 57ක්ද, විරුද්ධව ඡන්ද 60ක්ද ලබාදීම නිසා වැඩි ඡන්ද 03කින් අයවැය පරාජයට පත්විය.
මෙහි විශේෂත්වය වූයේ කොළඹ නගරාධිපතිනිය තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී ව්රායි කැලී බල්තසාර් මහත්මිය නගරාධිපති ලෙස පත්කර ගැනීමේදී ඡන්දය ලබාදුන් ස්වාධීන කණ්ඩායම් මන්ත්රීවරුන් තිදෙනකු අයවැයට විරුද්ධව ඡන්දය ප්රකාශ කිරීමයි. වැඩිදුරටත් අදහස් දක්වමින් නගරාධිපතිනිය මෙසේද කීවාය.
වෙහෙසකාරී දවසක් වුවත් අපි අද දවසේ අපි ගැන නොවෙයි තීරණ කරන්නේ කොළඹ නගරයේ ජනතාව ගැනයි. අපි සියලුම මන්ත්රීවරුන් සමග භේදයකින් තොරව ඉතාම විනිවිදභාවයෙන්, ඉතාම මිත්රශීලීව, ඉතාම ආදරයෙන් ගනුදෙනු කළා. කිසියම් ගැටලුවක් තිබුණා නම් පක්ෂ භේදයකින් තොරව එය නිරාකරණය කිරීමට අපි මැදිහත් වුණා.
අපි දන්නවා අපේ පාලනය සර්ව සාධාරණයි. අපි බලාපොරොත්තු වූ දේ සිද්ධ වුණේ නැහැ. ඔබ පරාජය කරලා තියෙන්නේ ජාතික ජනබලවේගයේ අයවැය නොවෙයි. ඔබගේ හෘද සාක්ෂියේ අයවැයයි. අපේ දේශපාලනය වෙනස්. එය අදත් වෙනස් හෙටත් වෙනස්. අපිත් එක්ක එකට කටයුතු කළ ඔබ ගෙදර ගිහින් කල්පනා කරලා බලන්න ඔබේ හෘද සාක්ෂියෙන් ප්රශ්න කරන්න ඔබ කොළඹ නගරයේ ජනතාවට කුමක් කරන්නද කියලා. නරක අය නරක කිරීම සාමාන්ය දෙයක්. හැබැයි හොඳ අය නරක දෙයකට එකඟවනවා නම් එය ඊටත් වඩා භයානකයි.
කොළඹ මහ නගර සභාව තුළ ජාතික ජනබලවේගයෙන් මන්ත්රීවරුන් 48ක්, සමගි ජනබලවේගයෙන් 29ක්, එක්සත් ජාතික පක්ෂයෙන් 13ක්. පොදුජන පෙරමුණෙන් 95ක්, මුස්ලිම් කොංග්රසයෙන් 04ක්, සර්වජන බලය 02ක්, ජාතික නිදහස් පෙරමුණු 01ක්, පොදුජන එක්සත් පෙරමුණ 01ක්, ජනතා පක්ෂය 01ක්, ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය 01ක් මෙන්ම ස්වාධීන කණ්ඩායම් I,II,III,IV,V සභිකයින් 09ක් වෙති.
"එදා රහස් ඡන්දයෙන් යටපත් කළ සැබෑ ජනමතය පෙන්නුවා"
කොළඹ මහ නගර සභා නගරාධිපති පත් කිරීමේදී රහස් ඡන්දයට මුවාවී තවත් පිරිසකට අවස්ථාව දුන්නත් අයවැය පරාජයට පත්වීම තුළින් මහජන මතය යථාර්ථයක් වුණු බව සමගි ජන බලවේගය පක්ෂයේ නාගරික මන්ත්රී රෝයි බෝගහවත්ත මහතා පෙරේදා (22දා) පැවසීය.
දේශපාලනය වෙනස් බවත්, දේශපාලනය තමන් හිතන විදියට වෙන්නේ නැති බවත් කොළඹ මහනගර සභා අයවැය ලේඛනය පරාජයට පත්වීමෙන් අනතුරුව සභාව අමතමින් බෝගහවත්ත මහතා කියා සිටියේය. වැඩිදුරටත් ඔහු මෙසේ ද කීය.
දේශපාලනය විටක ගඟක් වගේ ගලා බහිනවා. තවත් විදිහකට දිය ඇල්ලක් වගේ කඩා වැටෙනවා. ඒත් දේශපාලනයේ යථාර්ථයට මුහුණ දෙන්න ඕනෑ. නගරාධිපතිතුමිය ඔතැන ඉන්නකොට මට පෙනෙන්නේ පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය වගෙයි.
රහස් ඡන්දයට මුවාවෙලා මහජන මතයට පිටුපා තවත් පිරිසකට අවස්ථාව දුන්නා. ජයග්රාහකයා ජයග්රහණයේ සතුට නිහතමානීව සැමරිය යුතුයි. පරාජිතයා අඩියක් නොවෙයි අඩි දහයක් පස්සට ගෙන ජයග්රහණය කරා පියනැඟිය යුතුයි. අපි අනීතික රාජ්යය ඉදිරියේ හිස ගසන්න බැරි නිසා හිස නැමුවා.
එදා නගරාධිපති තුමිය පත්කිරීමට සහ ඒ සඳහා රහස් ඡන්දයක් පවත්වනවාද නැද්ද යන්න වෙනුවෙන් ඡන්ද දෙකක් පැවැත්වීමට යෝජනා කළත් මම එදා එක ඡන්දයක් පවත්වන්න යෝජනා කළා. එදා මට නොයෙක් විදියට කොළ පාටින් චෝදනා එල්ල කළත් මට දුන් අභියෝගය අද ජයගන්න හැකියාව ලැබී තිබෙනවා.



