පුද්ගලයන් 106 දෙනකුගේ අස්ථි කොටස් සොයාගත් කොළඹ වරාය සමූහ මිනීවළේ කැණීම් කටයුතු අවසන් කර ඇති බව අධිකරණයට දැනුම් දී තිබේ.
කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් ඉදි කරන අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා පොළොව හාරන අවස්ථාවකදී මේ ස්ථානය හමු වී තිබිණි.
ඒ 2024 ජූලි 13 වැනිදා වරාය අසල පිහිටි පැරණි ලේකම් කාර්යාල පරිශ්‍රයෙනි. මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විසින් කරන ලද නියෝගයකට අනුව 2024 සැප්තැම්බර් 5 වැනිදා එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කරන ලදි. පසුගිය සතියේ මේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක නියෝග කර තිබුණේ මේ සමූහ මිනීවළෙන් ගොඩගත් අස්ථි කොටස් පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණ ආරම්භ කරන ලෙසයි. එම නියෝගය දී තිබුණේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සුනිල් හේවගේටය.



