ගල්කිස්ස අධිකරණයේ සිද්ධියට නීතිඥවරයෙකුට එරෙහිව පොලිස් විමර්ශනයක්

ගල්කිස්ස අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බව කියන සිදුවීමට අදාලව නීතීඥවරයා සමඟ පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ අනුව අදාල ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා පොලිස් නිලධාරියාට බැණ තර්ජනය කර ඔහුගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරාම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඒ සම්බන්ධව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහතින්,

ගල්කිස්ස අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට ලද පැමිණිල්ලකට අදාලව එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම – ගල්කිස්ස පොලිස් ස්ථානය

2025.10.10 වන දින ගල්කිස්ස ගරු අධිකරණ භූමියයෙන් නීතීඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාල පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2025.10.13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම සිදුවීමට අදාල නීතීඥවරයා සමඟ පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු එම සිදුවීමට පාදක වූ පොලිස් නිලධාරියා හට බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව සිද්ධියට අදාල පොලිස් නිලධාරියා හට නීතීඥවරයා විසින් බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑම නිරීක්ෂණය වන වීඩියෝ දර්ශන ඇතුලත් සී.ඩී තැටියක් ඉදිරි විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලබාගෙන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ භූමියේ සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

 

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *