“ගෝඨාභයගේ අවසර නැතුව සලේ වැසිකිළියටවත් ගියේ නැහැ”

ත්‍රස්ත මර්දන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා දැඩි ප්‍රකාශයක් සිදු කර තිබේ.

ඔහු සඳහන් කළේ සුරේෂ් සලේ මහතා හමුදා නිලධාරියෙකු ලෙස නොව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පිළිපදින පුද්ගලයෙකු ලෙස කටයුතු කළ බවය.

සලේ මහතා සිදු කළ සියලු ක්‍රියාකාරකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත සිදුවූ බවත්, ඔහුගේ අනුමැතියකින් තොරව කිසිදු ක්‍රියාවක් සිදු නොවූ බවත් ෆොන්සේකා මහතා පවසා ඇත.

මෙහිදී ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ සලේ මහතා සහරාන් හෂීම් ඇතුළු පිරිස සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට තමන් විශ්වාස කරන බවය.

යුද්ධයෙන් පසු කාලසීමාවේදී සහරාන් හෂීම් ඇතුළු පිරිසකට ගෙවීම් සිදු කර ඇති බවත්, එම ක්‍රියාවලීන් රාජපක්ෂ පාලන සමයේ ආශිර්වාදය යටතේ සිදුවූ බවත් ඔහු චෝදනා කර ඇත.

තමන් අත්අඩංගුවට ගෙන මාස අටක් පුරා චෝදනා නොමැතිව රඳවා තැබීම සම්බන්ධයෙන් ද ෆොන්සේකා මහතා මෙහිදී සිහිපත් කර ඇති අතර, එම අවස්ථාවේදී තම පවුල ද දැඩි පීඩනයකට ලක්වූ බවද ඔහු පෙන්වා දී තිබේ.

තමාට සහ තම පවුලට සිදු වූ අසාධාරණයන්ට වර්තමානයේ සලේ මහතා මුහුණ දෙන තත්ත්වය සම්බන්ධ කරමින් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එය “කර්ම ප්‍රතිඵලයක්” ලෙස සැලකිය හැකි බවය.

එමෙන්ම “දැන් සලේලාගේ කාලය” පැමිණ ඇති බවද හිටපු හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *