ගෝඨාභයට නොතීසි…

2022 මැයි මස 09 වනදා දිවයින පුරා ඇති වූ සිද්ධීන්වලින් දේපළ හානි වූ බව පවසා නීතියට පටහැනි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග කර තිබේ.

මෙම පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී, වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට අධිකරණය විසින් දැනුම් දී ඇත.

දේපළ හානි වලට අදාළ වන්දි ගෙවීම් නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත්, නීතියට පටහැනිව ලබාගත් වන්දි මුදල් අදාළ මැති ඇමතිවරුන්ගෙන් යළි අය කරගන්නා ලෙසත් පෙත්සම්කරුවන් මෙමගින් ඉල්ලා සිටියි.

2022 මැයි 9 වන දින ගාලු මුවදොර “ගෝඨාගෝගම” අරගල භූමියට එල්ල වූ මැර ප්‍රහාරයෙන් අනතුරුව රට පුරා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එවකට සිටි ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් රැසකගේ නිවාස සහ දේපළ ගිනි තබා විනාශ කෙරිණි.

මෙලෙස හානියට පත් දේපළ වෙනුවෙන් රජයේ මගින් වන්දි ගෙවීමට එවකට පැවති අමාත්‍ය මණ්ඩලය තීරණය කළ අතර, එම තීරණය නීති විරෝධී බවත් මහජන මුදල් අවභාවිතයක් බවත් පවසමින් පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළහ.

මීට පෙර අවස්ථාවලදී ද හිටපු ජනාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියෝග කෙරුණ ද, අද දින අධිකරණය යළිත් වරක් එම ක්‍රියාවලිය සම්පූර්ණ කරන ලෙස නියෝග කර තිබේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *