ගෝඨාභයව අත්අඩංගුවට ගැනීමේ කතා ගැන නලින්දගෙන් ප්‍රකාශයක්

පාස්කු විමර්ශනයන්ට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීම හෝ විමර්ශන සඳහා කැඳවීම පිළිබඳ තීන්දුව ගනු ලබන්නේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සිදුකරන ප්‍රකාශ සහ විමර්ශනවලින් අනාවරණය වන කරුණු මත පදනම්ව බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඊයේ (17) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, සුරේෂ් සලේගේ ප්‍රකාශත් සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට ඇතැම් පාර්ශ්වයන් තුළ පවතින බිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සුරේෂ් සලේ මොනවා පවසනවාදැයි තමන් දන්නේ නැතත්, යම් යම් පුද්ගලයන් තමන් දන්නා දේ අනුව ඊළඟට එන්නේ තමන් වෙතට යැයි සිතනවා විය හැකි බවයි.

එමෙන්ම විමර්ශන කටයුතු සිදුවිය යුත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වාධීන ක්‍රියාපටිපාටියට අනුව මිස රජයේ බලපෑම් මත නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළා.

යම් පුද්ගලයෙක් තමන් වරදක් කර ඇති බව දන්නේ නම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එනතුරු නොසිට ගොස් ප්‍රකාශයක් ලබාදීම ඔවුන්ගේ ක්‍රියාවක් බවත්  පුද්ගලයන් ඉලක්ක කරගත් පෞද්ගලික අදහස් රජයට නොමැති බවත් නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රජයට ඇත්තේ,  ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ පිරිස් හඳුනා ගැනීම, ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වූවන් හඳුනා ගැනීම සහ  ප්‍රහාරය සැලසුම් කළ මහා මොළකරුවන් නීතිය හමුවට පැමිණවීම ආදි කරුණු තුන පමණක් බව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා.

විමර්ශනවලදී හෙළිදරව් වන කරුණුවල බරපතළකම අනුව ඉදිරි අත්අඩංගුවට ගැනීම් සිදුවනු ඇති බවත්, යුක්තිය ඉටුකිරීම රජයේ එකම අභිලාෂය බවත් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *