ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

මෙම නීතිමය ක්‍රියාවලිය සඳහා පදනම් වී ඇත්තේ 2024 ඔක්තෝබර් 11 වන දින සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රන්මුණි ජූඩ් වර්ණන් සිල්වා පියතුමා විසින් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ විකාශය වූ කරුණු පදනම් කරගෙන සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ පුළුල් විමර්ශනයයි.

පොලීසිය විසින් අධිකරණයට කරුණු පැහැදිලි කරමින්, පාස්කු ප්‍රහාරය සහ ඊට සමගාමී පූර්ව හා පසු සිදුවීම් ප්‍රබල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවට අතිශය සංවේදී කරුණු අනාවරණය කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා ඇත්තේ පුබාලපිල්ලේ ප්‍රශාන්තන්, කුමාරසාමි පුෂ්ප කුමාර්, නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුමිත් ප්‍රසාද් රණසිංහ සහ අසාද් මවුලානා යන අයගේ ප්‍රකාශ මගින් මෙම සංවේදී කරුණු හෙළිදරව් වී ඇති බවයි.

මෙම කරුණු අනුව දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරු වන තුවාන් සුරේෂ් සාලේ නමැත්තාගේ සැලසුම්ගත සම්බන්ධීකරණය සහ මෙහෙයවීම මත මෙම ප්‍රහාර මාලාව සිදුවී ඇති බවටත්, ඊට හිටපු ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ප්‍රේම් ආනන්ද උදලාගම සහ රිසාන් ටිරෝෂාන් අන්සාර් යන අයගේ සෘජු හෝ වක්‍රාකාර සම්බන්ධතාවයක් හෝ දැනුවත්භාවයක් පැවතිය හැකි බවට සාධාරණ සැකයක් මතුව ඇති බවත් පොලීසිය අධිකරණයට වාර්තා කර ඇත.

විමර්ශන කටයුතු මඟ හරිමින් මෙම පුද්ගලයින් සැලසුම් සහගතව විදේශගත වීමේ අවදානමක් පවතින බවට විශ්වාස කිරීමට ප්‍රමාණවත් තොරතුරු ලැබී ඇති බැවින්, ඔවුන් විදේශගත වුවහොත් විමර්ශනයට බරපතල අගතියක් විය හැකි බව පවසමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය සහ ආගාමික හා විගාමික පනත ප්‍රකාරව මොවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා තිබේ. ඒ අනුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වමින් මහේස්ත්‍රාත්වරයා විසින් ආගමන විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කර ඇත.

මෙම විදේශ ගමන් තහනම සහ අත්අඩංගුවට ගැනීමේ අවදානම හමුවේ හිටපු ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඥානේන්ද්‍ර ශානි අබේසේකර, එහි විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම් කර ඇත. තමන්ව අත්අඩංගුවට ගැනීම හෝ පාස්කු ප්‍රහාරයට අදාළව තම නිදහස අහිමි කිරීම වළක්වන තහනම් නියෝගයක් සහ මෙම පෙත්සම විභාග කර අවසන් වන තෙක් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් සහනයක් ලෙස ඉල්ලා තිබේ. මීට අමතරව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ 2019 ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව, බුද්ධි සම්බන්ධීකරණ කමිටු වාර්තාව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සහ චැනල් ෆෝ නාලිකාවේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටු වාර්තාව යන ලේඛන අධිකරණයට කැඳවන ලෙසද ඔහු ඉල්ලා ඇත.

තම පෙත්සම මගින් කරුණු දක්වන ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරන්නේ තමන් කිසිදු ආකාරයකින් පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ නොමැති බවයි. මේ දක්වා එම චෝදනා සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්න කර නොමැති අතර, ඕනෑම අවස්ථාවක අදාළ බලධාරීන් හමුවේ ප්‍රශ්න කිරීම් සඳහා පෙනී සිටීමට තමන් සූදානම් බව ඔහු සඳහන් කරයි. විදේශ ගමන් තහනම ඉවත් කළද, අධිකරණයට දැනුම් දීමකින් සහ නීතිපතිවරයාට නොතීසි නිකුත් කිරීමකින් තොරව තමන් රටින් පිට නොවන බවට ඔහු අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී ඇත. එමෙන්ම, විදේශගතව සිටින අසාද් මවුලානා හැර වෙනත් කිසිදු සාක්ෂිකරුවෙකු තමන් නොදන්නා බවත්, මවුලානාව තමන් කිසිදිනක මුණගැසී නොමැති බවත්, කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් නොකරන බවටත් පෙත්සම්කරු සහතික වෙයි.

බලධාරීන් සද්භාවයෙන් ක්‍රියා නොකරන බව පවසන රාජපක්ෂ මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ශානි අබේසේකර තමන් කෙරෙහි වෛරයකින් සහ ද්වේෂයකින් කටයුතු කිරීමට ඉඩ ඇති බවට චෝදනාවක් එල්ල කරයි. තමන් ජනාධිපතිවරයා ලෙස පත්වූ වහාම ශානි අබේසේකරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කළ බවත්, එම ඉවත් කිරීම තමන් විසින් සිදුකළ බවට ඔහු විශ්වාස කරන බවත් පෙත්සමේ දැක්වේ. එපමණක් නොව, තම පාලන සමයේදී 2020 ජූලි 31 වන දින බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවක් මත ශානි අබේසේකරව අත්අඩංගුවට ගත් බවත්, දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මගින්ද ඔහුට එරෙහිව නිර්දේශ ලබා දී තිබූ බවත් රාජපක්ෂ පෙන්වා දෙයි. අබේසේකර විශ්‍රාම යාමෙන් පසුව වත්මන් රජය විසින් නැවත එම තනතුරට පත්කර ඇති බවත්, ඔහුගේ මෙහෙයවීම යටතේ අපක්ෂපාතී ස්වාධීන විමර්ශනයක් අපේක්ෂා කළ නොහැකි බවත් පෙත්සම්කරු තර්ක කරයි. තවද, ජීවිත තර්ජන ඇතැයි පවසමින් ස්විට්සර්ලන්තයේ රැකවරණය පතන අසාද් මවුලානා, ප්‍රංශයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී විමර්ශන නිලධාරීන් හමුවී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවද පෙත්සමේ සඳහන් වේ.

අසාද් මවුලානා විසින් 2023 සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ආසන්නයේදී චැනල් ෆෝ නාලිකාවට කළ ප්‍රකාශය හැරෙන්නට, තමන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට වෙනත් කිසිදු සාක්ෂියක් නොමැති බව ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ අනෙකුත් ජනාධිපති කොමිෂන් සභා වාර්තා මගින් හිටපු බුද්ධි නිලධාරීන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම් සහ නොසැලකිලිමත්භාවය පැහැදිලිව පෙන්වා දී ඇති බව ඔහු සඳහන් කරයි.

විශේෂයෙන්ම තම පාලන සමයේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් කිරීමේ හැකියාව පිළිබඳව අමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයෙන් (FBI) කළ විමසීමකදී, එහි නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ලෑන්ඩ්බර්ග් විසින් ඒ වන විටත් පූර්ණ විමර්ශනයක් කර ඇති බැවින් නැවත විමර්ශනයක් කිරීම තේරුමක් නොමැති බව දන්වා එවා ඇති බව පෙත්සම්කරු පෙන්වා දෙයි. ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීමට ගන්නා උත්සාහය නීතිවිරෝධී, අතාර්කික, අත්තනෝමතික සහ තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ඔහු සිය පෙත්සමෙන් තර්ක කර තිබේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *